ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සංවර්ධන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සිය රාජ්‍යතාන්ත්‍රික ධුර කාලයේ අඛණ්ඩව සහයෝගය ලබාදීම ගැන අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට සිය කෘතඥතාව පළ කරන බව ඉරාන තානාපති හෂේම් අෂ්ජාසාදේ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස සිට සිය සේවා කාලය අවසන් කර නික්ම යන තානාපති හෂේම් අෂ්ජාසාදේ මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අරලියගහ මන්දිරයේදී පෙරේදා (18) හමු වූ අවස්ථාවේදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය. කොවිඩ් වසංගතය සහ ගෝලීය ආර්ථික අර්බුදයේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී එවකට විදේශ ඇමැතිවරයාව සිටි වත්මන් අගමැතිවරයා දුන් සහයෝගය අගය කරන බව තානාපතිවරයා කියා සිටියේය. දුෂ්කර සහ අභියෝගාත්මක කාලපරිච්ඡේදයක ඉරානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහය ගැන අගමැතිවරයා තානාපති හෂේම් අෂ්ජාසාදේ මහතාට ස්තූතිය පුද කළේය.
ශ්‍රී ලංකාවට සහාය වීමට තානාපතිවරයා දරන විශේෂ ප්‍රයත්නය සහ ශ්‍රී ලංකාවේ යහපත සඳහා ඉරානය විසින් කරන ලද වැදගත් හවුල් ව්‍යාපාර අවසන් කිරීම සහතික කිරීම සඳහා නොපසුබටව කටයුතු කිරීම ගැන අගමැතිවරයාගේ ප්‍රශංසාව හිමිවිය.
ඇමැති නසීර් අහමඩ්, රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙණිපිටිය, අගමැති ලේකම් අනුර දිසානායක,ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික සහ කොන්සියුලර් අංශයේ ප්‍රධානී කේ. සොහීල් මහත්වරුන් ද මේ හමුවට එක්ව සිටියහ.