මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ගොඩනැඟිල්ලක සිවිලිමක සඟවා තිබී හමු වූ අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය එහි සඟවා තබා ඇත්තේ අපරාධ සැලසුමක් ක්‍රියාත්මක කිරීම සඳහාද? එසේත් නැති නම් පාසල අවට නිවාස සෝදිසි කිරීමකදී යම් අපරාධකරුවන් පිරිසක් විසින් පොලිසියට හසු නොවී මේ ආයුධ සඟවා තබාගැනීමේ අරමුණින්දැයි ප්‍රධාන සැකයන් දෙකක් ඔස්සේ විමර්ශන පැවැත්වෙන බව මාතර පොලිසිය සඳහන් කරයි.
මෙහි තිබී හමු වූ ගිනි අවිය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ එකක්ද එසේත් නැති නම් විදේශීය රටක නිෂ්පාදනය කළ එකක්ද යන්න පැහැදිලි නැත. මාතර හා හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා අනුමාන කරනු ලබන්නේ එය දේශීය වශයෙන් නිෂ්පාදිත අවියක් බවයි. එය නිශ්චිත ලෙස තහවුරු කරගැනීමට ගිනි අවිය රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අවි ආයුධ හා පතරොම් මෙන්ම පුපුරන ද්‍රව්‍ය හමුවීමේ කථාව දිග හැරෙන්නේ මෙසේය. මේ ආයුධ හමු වන්නේ පසුගිය අඟහරුවාදා (18) ය. වේලාව පස්වරු 12.45ට පමණය.
මාතර රස්සන්දෙණිය ප්‍රදේශයේ පිහිටි මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අලුතින් ආරම්භ කිරීමට නියමිත හෙළ බොජුන්හල සඳහා කාමරයක් පිළියෙල කිරීමේ කටයුතු සිදු කරමින් පැවතියේය. ඒ සඳහා තොරාගෙන තිබුණේ පාසල ඉදි කිරීමේ කටයුතු සිදු වෙද්දී එහි කොනත්‍රාත් සමාගම කාර්යාලය ලෙස භාවිත කළ ගොඩනැඟිල්ලය. ගොඩනැගිල්ලේ සිවිලිම දිරාගොස් තිබුණෙන් එය අලුත්වැඩියා කිරීමට එදින කටයුතු යොදා තිබිණි. වඩු කාර්මිකයන් දෙදෙනකු මේ සඳහා යොදවා සිටි අතර, ඔවුන් සිවිලිම සැකසීම සඳහා පිරිසිදු කරමින් සිටියදී මලබැඳී තිබුණු කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් එක්වරම බිමට වැටුණේ වඩුකාර්මිකයින් දෙදෙනා අන්දමන්ද කරමිනි. බිමට වැටුණු ගිනිඅවිය දුටු වඩුකාර්මිකයින් වහා දුවගොස් පාසල් කාර්යාලයේ එදින වැඩ ආවරණය කරමින් සිටි නියෝජ්‍ය විදුහල්පතිනියට මේ බව දැනුම් දුන්හ. නියෝජ්‍ය විදුහල්පතිනිය වහා මාතර මූලස්ථාන පොලිසියට මේ පිළිබඳ දැනුම් දුන්නාය. ඒ තොරතුරට වහා ක්‍රියාත්මක වූ මාතර මූලස්ථානධිපති (ප්‍ර.පො.ප) රොෂාන් හෙට්ටිආරච්චි, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රුක්මන් කෝට්ටගේ මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් වහා එහි ළඟා වී කළ පරීක්ෂණයේදී අදාළ ගොඩනැඟිල්ලේ සිවිලිමේ සඟවා තිබී ගිනි අවියක්, ටී56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කළ හැකි මි.මී. 7.62 පතොරම් 21ක්, මි.මී. 9 වර්ගයේ පතොරම් 136ක්, මිමී 3.2 පතොරම් 31ක්, ඩෙටනේටර 2ක්, ටී.එන්.ටී. යැයි සැක කළ හැකි පුපුරන ද්‍රව්‍ය ග්‍රෑ. 194ක්, ඩෙට්කෝඩ් (පිපිරුම් සඳහා භාවිත කරන සේවනූල්) සෙ.මී. 115ක් ඇතුළු පුපුරන දුව්‍ය තොගයක් සොයාගත්තේය.
සිදුවීම පිළිබඳ ඉහළ පොලිස් නිලධාරීන්ට දැන්වීමෙන් පසු මාතර කොට්ඨාස අපරාධ ස්ථාන පර්යේෂණාගාරයේ නිලධාරීන්, ඇඟිලි සටහන් අංශයේ නිලධාරීන් පැමිණ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කළ අතර, වඩු කාර්මිකයන් දෙදෙනා ඇතුළු සිද්ධිය වූ අවස්ථාවේ සිටි කීප දෙනකුගෙන් තොරතුරු සටහන් කරගනු ලැබීය. ඒ අනුව පොලිස් කණ්ඩායම් කළ විශේෂ විමර්ශනයේදී අනාවරණය වූයේ 2013 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මේ පාසල විවෘති කර ඇති බවයි. පසුව මේ විද්‍යාලය ඇතුළු අවට භූමිය 2015 වසරේදී දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වීමට වෙන් කර තිබු අතර, ඒ කටයුතු භාරව සිටි නාවික හමුදා ඛණ්ඩයක් මෙන්ම පොලිස් මුරපොළක්ද විද්‍යාල භූමියේ සිථාපිත කර තිබී ඇත. ඒ කාලය අතරතුර ප්‍රදේශයේ ප්‍රධාන දේශපාලනඥයන් කීප දෙනකු හා හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාපක්ෂ මහතා ඇතුළු රජයේ වගකිව යුතු නිලධාරීන් දැයට කිරුළ සංවර්ධන වැඩකටයුතු පරීක්ෂා කිරීමට මේ ස්ථානයට විටින් විට පැමිණ ඇති බවද අනාවරණය විය.
ඒ අතර පාසල විවෘත කිරීමෙන් පසු නැවත අවස්ථාවක් මහින්ද රාජපක්ෂ මහතා මෙහි පැමිණ ඇති බවටද තොරතුරු ඇත. එවකට සිදු වූ ආණ්ඩු පෙරළියත් සමඟ දැයට කිරුළ වැඩසටහනේ වැඩකටයුතු නතර විය. එබැවින් සැලසුම් කළ පරිදි දැයට කිරුළ එහි නොපැවැත්විණි. ඉන් පසුවද පාසලේ කටයුතු සොයාබැලීම සඳහා දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන් විද්‍යාලයට පැමිණ ගොස් තිබේ. මේ වසරේදී එහි දසවැනි සංවත්සරයද උත්සවශ්‍රීයෙන් පවත්වා ඇත.
මේ තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් තුළ සැක කීපයක් මතුව තිබේ. ඉන් ප්‍රධානතම හේතුවක් වන්නේ දැයට කිරුළ ප්‍රදර්ශනයට පැමිණෙන ප්‍රභූවරයකු ඉලක්ක කරගෙන මේ අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය ගෙනැවිත් සගවා තැබුවේද? යන්න පිළිබඳවය. ඊට අමතරව සැලසුම් ත වෙනත් අපරාධයක් සඳහා මෙය සඟවා තැබුවේද? යන්න පිළිබඳවද පොලිසියේ සැකය මතුව ඇත.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නකු නැව් හා බෝට්ටු මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේදී එහි ආරක්ෂාව සඳහා රැගෙනවිත් සඟවා තැබූවේද නැත හොත් එම ප්‍රදේශයේ සිටි පාතාලයට සම්බන්ධ අයකු රගෙනවිත් මෙය සඟවා තැබුවේද යන්න පිළිබඳව මෙන්ම මෙම පුපුරන දුව්‍ය සැඟවූ පුද්ගලයා මියයෑමක් නිසා මේ ස්ථානයේ පුපුරන දුව්‍ය දිරාපත් වෙමින් තිබුණේද යන් සැකයද පොලිස් කණ්ඩායම් තුළ ඇත.
2013 වසරේදී ඉදිකිරීම් අවසන් වී කොන්ත්‍රාත් සමාගම ඉවත් වන අවස්ථාවේදී අදාළ කාමරයේ වායුසමන යන්ත්‍ර ගලවා එම කාමරයද කඩා ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ එය පාසලේ කුමන කටයුත්තකට හෝ ප්‍රයෝජනයට ගත හැකි නිසා ඉවත් නොකරන ලෙසට පාසල් පරිපාලනය විසින් ඉල්ලීමක් කර තිබූ හෙයින් මේ ගොඩනැගිල්ල මෙලෙස තිබෙන්න ඉඩහැර ඇතැයිද පාසල් ආරංචි සඳහන් කළේය.
කෙසේ වෙතත් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සදහා අපරාධ ස්ථාන පරික්ෂණාගාර නිලධාරීන්ගේද ඇගිලි සලකුණු සඳහන් කිරිමේ නිලධාරීන්ගේද පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ගැනීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මාතර මූලස්ථාන පොලිස්ථානාධිපති රොෂාන් හෙට්ටිආරච්චි, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රුක්මන් කෝට්ටගේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් හා පොලිස් විශේෂ කාර්ය බළකාය, රාජ්‍ය බුද්ධි අංශය හා පොලිස් විශේෂ කාර්යාංශය යොදවා ඇත.
ගන්දර සමූහ - ජයසිරි පේදුරුආරචිචි