Wednesday, September 18, 2024
Home » පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 750ක් මේ වසරේ උපයනවා

පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 750ක් මේ වසරේ උපයනවා

by mahesh
September 20, 2023 1:00 am 0 comment

පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 750ක මුදලක් මේ වර්ෂයේ දී මෙරටට උපයා ගත හැකි බව වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පැවැසීය.

පොල් වගාව ආශ්‍රිතව හටගෙන ඇති සුදු මැස්සා රෝගය සියයට 80කින් මේ වන විට පාලනය කර ඇති බවත් පොල් ගෙඩි බිලියන 3ක අස්වැන්නක් මේ වර්ෂයේ දී ලබා ගත හැකි බවටත් ඇස්තමේන්තු කර ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

පොල් ඵලදාව අඩු වීම සඳහා මයිටා උවදුර පමණක් නොව වෙනත් පලිබෝධනාශක මෙන්ම කාලගුණ දේශගුණික තත්ත්වය බලපාන බවත් මයිටා උවදුර නිසා සියයට 3ක අස්වැන්න අඩු වීම බලපාන බවත් ඇමැතිවරයා කීය. මයිටා උවදුර පාලනය සඳහා විලෝපික මයිටා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවත් පොල් ඵලදාව ඉහළ නංවා ගැනීම සඳහා වාර්ෂිකව දැනුම්වත් කිරීම් 1300ක් පමණ ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පොල් හානි සම්බන්ධයෙන් සිතියම්ගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ද, පොල් ගෙඩි අස්වැන්න බිලියන 3.2ක් ලෙස ඉතිහාසයේ වැඩිම අස්වැන්න 2022 වර්ෂයේදී ලැබුණේ යැයි ද ඇමැතිවරයා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x