රුපියල් හතළිස්පන්ලක්ෂ හතළිස්දහසක වෙළෙඳ පොළ වටිනාකමක් සහිත විදේශීය නිෂ්පාදිත දුම්වැටි 45,400ක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනකු පසුගියදා (18) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු යටියන්තොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
අනෙක් පුද්ගලයා කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අයෙකි . මොවුන් දෙදෙනා නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් විදේශවලින් භාණ්ඩ රැගෙනවිත් ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින්නන් වේ.
මොවුන් දෙදෙනා පසුගිය18 වැනි දින උදෑසන 10.20ට ඩුබායි සිට ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ ගෝල්ඩ් ලීෆ්, මැන්චෙස්ටර් සහ මොන්ඩ් වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටූන් 227ක් සඟවාගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ටී.එම්.එස්. තෙන්නකෝන් මහතා පවත්වා තිබූ අතර, එහිදී මෙසේ නීති විරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි සියල්ල රාජසන්තක කැර පිරිමි පුද්ගලයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කැර තිබේ. ඊට අමතරව අනෙක් ව්‍යාපාරික කාන්තාවට තරයේ අවවාද කැර නිදහස් කැර තිබේ.
කටුනායක ටී.කේ.ජී.කපිල