මහා පරිමාණ සංවිධානාත්මක අපරාධයක් සිදු කිරීම සඳහා සූදානම්ව සිටි දෙදෙනකු නීති විරෝධී මත්පැන් සහ තියුණු ආයුධ රැසක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (18) ග්‍රෑන්ඩ්පාස්, ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර ඇත.
එහිදී මහා පරිමාණ සංවිධානාත්මක අපරාධයක් සිදු කිරීම සඳහා සූදානම්ව සිටි කොළඹ 15 සහ කල්මුණේ 02 යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30 – 44 වන පුද්ගලයන් දෙදෙනකු තියුණු ආයුධ, යකඩ කඩු 06ක් සහ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 15,000 සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය කැලණිය කඳවුරේ ස්ථාපිත, දිවයිනේ බස්නාහිර පළාත A කලාපය තුළ සිදුවන අපරාධ මර්දනය සඳහා අනුයුක්ත නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මඟපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත පොලිස් පරීක්ෂක ඒ.එම්.යු.ඒ. අධිකාරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.