ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නීති රීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන ඖෂධසල් පිළිබඳව සොයා බැලීමට සිදුකළ හදිසි සෝදිසි වැටලීමකදී කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පවත්වාගෙන ගිය එවැනි ඖෂධසල් හතක් හඳුනා ගත් බව කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය සඳහන් කරයි.
වෛද්‍ය වට්ටෝරුවක් නොමැතිව ඖෂධ නිකුත් කිරීම් හා බලපත්‍රයක් නොමැතිව ඖෂධ අලෙවි කිරීම යන චෝදනා යටතේ එම ඖෂධ ශාලා හිමියන්ට එරෙහිව නිත්‍යානුකූලව පියවර ගැනීමට කටයුතු කරන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය පවසයි.
ඒ අනුව එසේ නීති රීති උල්ලංඝනය කළ ඖෂධසල් හිමියන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන බැඳුම්කර ඇප මත මුදා හැර තිබේ. අදාළ චුදිතයන් ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නඩු පවරා දඬුවම් ලබාදීමට නියමිතය.
කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මියගේ උපදෙස් පරිදි කුරුණෑගල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක පුෂ්පකුමාර රාජපක්ෂ, ආහාර හා ඖෂධ පරීක්ෂක වයි.එම්.එම්. හේමන්ත සමඟ ජාතික ඖෂධ අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද මෙම වැටලීම්වලට සහභාගි වූහ.