Home » යතුරුපැදිය වෑන් රියක ගැටී රෝහල් සේවකයා මරුට

යතුරුපැදිය වෑන් රියක ගැටී රෝහල් සේවකයා මරුට

බිරියටත් තුවාල: වෑන් රථය පලා ගිහින්

by mahesh
September 20, 2023 1:00 am 0 comment

පොල්පිතිගම - නන්දන කැලේගම

ගල්ගමුව මූලික රෝහලේ පවිත්‍රතා අංශයේ 18 දා රාත්‍රි සේවයට යතුරුපැදියෙන් පැමිණි අයෙකු වෑන් රථයක ගැටී මරණයට පත්ව ඇතැයි ගල්ගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක පී.එච්. ශාන්ත රණවීර මහතා පැවසීය.

කුරුණෑගල සිට අනුරාධපුර දෙසට අධික වේගයෙන් ගමන් ගත් වෑන් රථයක් ගල්ගමුව නගර සීමාවේ වාලසේන ප්‍රදේශයේ දී 18 දා පස්වරු 5.45ට පමණ මෙම යතුරුපැදියේ ගැටීමෙන් අනතුරුව ඔවුන් නොනවත්වා පලා ගොස් ඇති බවත්, එය සොයා විමර්ශන දියත්වන බවත් ගල්ගමුව පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මහනාන්නේරිය, කල්ලච්චිය ප්‍රදේශයේ පදිංචි පී. එච්. මංජු ප්‍රියන්ත කුමාර නමැති 46 හැවිරිදි වියේ පසුවෙන විවාහකයෙකි. ඔහු එදින සවස 6.00ට සේවා මුරයට වාර්තා කිරීමට පැමිණි අයෙකි.‍ අනතුරට පත් තැනැත්තා ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව රෝහල් සේවකයෙක් කීය.

ඔහු තම බිරිඳත් සමඟ පැමිණෙන අතරවාරයේදී මෙම අනතුරට පත්ව තිබේ. සිද්ධියෙන් ඇයත් මේ වනවිට ගල්ගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඇයගේ අතකට තුවාල සිදු වී තිබෙන නමුත් තත්ත්වය බරපතළ නැතැයි එම රෝහල් සේවකයා පැවසීය.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය 18 දා රාත්‍රීයේදිම ගල්ගමුව රෝහලේ දී පැවැත්විණි. මියගිය අයගේ පියාගෙන් හා රෝහල්ගතව සිටින විවාහක බිරියගේ පියාගෙන් ගල්ගමුව පොලිසියේ පොලිස් සැරයන් 47591 විජේසිංහ සාක්කි සටහන් කර ගත්තේය. ඉන් අනතුරුව ගල්ගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඩබ්ලිව්. එස්. ඒ. විජේනායක මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූවාය.

ලද තොරතුරුවලට අනුව වෑන් රථය ගැටීමෙන් පෙණහලුවලට හා හිස් කබලට තුවාල සිදු වී තිබෙන අතර හෘද වස්තුව පුපුරා යාමෙන් මෙම මරණය සිදු වී ඇති බවට ගල්ගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක පී. එච්. ශාන්ත රණවීර මහතා ප්‍රකාශයට පත් කළේය. සිද්ධිය පිළිබඳව ගල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT