ජාතික ඔලිම්පික් කමිටුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ස්වභාවික පුණර්ජනනය වේගවත් කිරීම සඳහා අක්කර 125ක් (හෙක්ටයාර 50ක්) පමණ වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක් පුත්තලම දිස්ත්‍රික්කයේ වීරක්කොඩිචෝලේ රක්ෂිතයේදී ආරම්භ කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද ඊයේ (19) සිදු කෙරිණි.
මේ වැඩසටහන සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු උපදෙස් මත ජාතික ඔලිම්පික් කමිටුව රුපියල් ලක්ෂ 500ක් ආයෝජනය කිරීමට නියමිතය.
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පැවති මේ ගිවිසුමට ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂණ ජනරාල් ආචාර්ය කේ.එච්.ඒ. බණ්ඩාර මහත්වරුන් අත්සන් තැබූහ.
මෙහිදී දේශීය පැළ වර්ග 35 000ක් පමණ මේ වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී සිටුවීමට සැලසුම් කර ඇත. මෙහිදී අදහස් දැක්වූ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ලැබීම සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බවයි.
වසර 3කට පෙර සිටම ‘ඔලිම්පික් ෆොරස්ට්’ යන සංකල්පය ගැන අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවත් සමඟ සාකච්ඡා කළ නමුත් එය ඉදිරියට කරගෙන යන්නට යම් යම් බාධා ඇති වූ බවත්, අද මේ ගිවිසුම අත්සන් කිරීමට හැකි වීමෙන් එය ඉදිරියට යනු ඇති බවත් ඔලිම්පික් කමිටු ප්‍රධාන ලේකම් මැක්වෙල් ද සිල්වා මහතා මෙහිදී කියා සිටියේය.
මෙවැනි අලුත් සංකල්පයක් ලංකාවෙන් බිහි කිරීම සතුටට කරුණක් බවකී ඒ මහතා මෙය ක්‍රියාවට නැංවීම ඉතා අපහසු වුවත් වසර තුනක මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස මේ ගිවිසුම අත්සන් තැබීමට හැකි වූ බවත් පැවසීය.
මේ අවස්ථාවට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශ ලේකම් චන්ද්‍රා හේරත්, වන සංරක්ෂක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ, වන සංරක්ෂක කේ.ඒ.ඩී.යූ.අයි. කලංසූරිය. ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරුන් වන කංචන ජයරත්න, සුරංජිත් ප්‍රේමදාස, එම කමිටුවේ භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූපය – හර්බට් පෙරේරා