ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය ද එක්දින ක්‍රිකට් පිටියේ මෙතෙක් බිහිවූ දෙවැනි හොඳම එක්දින ක්‍රිකට් නායකයා ලෙස දසුන් ශානක තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා දැඩි ලෙස විශ්වාසය පළ කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු අවධාරණය කළේ කණ්ඩායමක නායකයකු වීමට නම් පිතිකරුවෙකු ලෙස ලකුණු ලබා ගැනීමට වඩා වැඩි කුසලතාවක් තිබිය යුතු බවයි. එම කුසලතා නොඅඩුව ඇති බැවින් ඔහු ශ්‍රී ලංකා පිල මෙහෙයවිය යුතු හොඳම ක්‍රීඩකයා බවට තම විශ්වාසය බව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සඳහන් කළේය.
“දසුන් කැප්ටන් කෙනෙක් වෙන්න ගොඩක් සුදුසුයි. ඔහු ක්‍රීඩක විවේකාගාරයේ සෑම ක්‍රීඩකයකුගේම ගෞරවයට පාත්‍රවී සිටිනවා. ඔහු ක්‍රීඩකයන්ව හොඳින් අවබෝධ කරගෙන ඔවුන්ට විශාල ආදරයක් සහ සහයෝගයක් දක්වනවා. ඒක නායකයකු තුළ තිබිය යුතු හොඳ ලක්ෂණයක්. ඒ වගේම ක්‍රීඩකයන් සියලු දෙනාගේ ආදරය සහ සහයෝගය ඔහුටත් නැවත ලැබෙනවා. මේ සංකලනය හැම කෙනෙකුටම ලබා ගන්න අපහසුයි. ඒ නිසා දසුන් තවදුරටත් ශ්‍රී ලංකා පිලේ නායකයා වීම කණ්ඩායමට විශාල දායකත්වයක් වේවි” සිල්වර්වුඩ් මහතා පැවසීය.
මේ අතර ක්‍රිකට් දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවට වැඩිම ප්‍රතිඵල දුන් එක්දින නායකයා ලෙස කුමාර් සංගක්කාර ඉදිරියෙන් සිටින අතර, ඔහුට පසු දසුන් ශානක ශ්‍රී ලංකාවට හොඳම ප්‍රතිඵල ලබා දුන් නායකයා වේ. සංගක්කාර 2009 සිට 2011 දක්වා ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම භාරගෙන තරග 45කදී නායකත්වය දෙමින් තරග 27ක් ජයගෙන තරග 14කින් පරාජය වී ජයග්‍රාහි ප්‍රතිශතය සියයට 60ක් ලෙස සටහන් කොට තිබේ. දසුන් ශානක 2021 සිට මේ දක්වා ශ්‍රී ලංකා එක්දින පිල මෙහෙයවමින් තරග 39කදී ජයග්‍රහණ 23ක් ලබා පරාජ 15ක් වාර්තා කොට ජයග්‍රාහී ප්‍රතිශතය සියයට 58.97ක ප්‍රමාණයක් රඳවා ඇත. දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය භාර ගත්තේ ඉතා අසීරු අවස්ථාවකදී බවට සැකයක් නැති අතර, පිට පිට ජාත්‍යන්තර එක්දින තරග 13ක ජය වාර්තා කරමින් වාර්තාවක් පිහිටුවීමට ද සමත් වූවේය. එමෙන්ම ශ්‍රී ලංකාව ඉදිරියේ ප්‍රතිවාදී පිතිකරුවන් සියලු දෙනා දැවී ගිය අඛණ්ඩ 14 වැනි තරගය ද දසුන්ගේ නායකත්වය යටතේ වාර්තා පොතට එක්වී ඇත. ඔහුගේ නායකත්වය යටතේ විස්සයි20 ආසියානු කුසලානය හා
කෙසේ වුවද දසුන් ශානක පිතිකරුවෙකු ලෙස අසාර්ථකත්වයට පත්ව ඇති අයුරු අනුමත කරන්නේ දැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ දසුන් ශානක වඩාත් විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම සහ දිගටම වෙහෙස මහන්සි වී පුහුණුවීම් කිරීම අත්‍යවශ්‍ය බවයි.
“දසුන් ශානකට යළිත් විනාශකාරී පිතිකරුවකු වීමට හැකියාව තියෙනවා. ඔහු යළිත් හොඳ තත්ත්වයට පත්වීම සඳහා දැඩි පුහුණුවක් කළ යුතුයි. සිදුවූ පරාජය ඊළඟ තරගාවලියේදී ආපසු හැරවිය හැකි යැයි බලාපොරොත්තු වෙනවා. වෙන දෙයක් නැහැ. අපි තව තවත් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. ඒ වගේම දසුන් කෙරෙහි විශ්වාසය ඇති කර ගැනීම කළ යුතුයි” සිල්වර්වුඩ් මහතා පැවසීය. දසුන් ශානක පිතිකරුවකුට අමතරව ආසියානු කුසලාන තරගාවලියේදී ප්‍රයෝජනවත් පන්දු යවන්නකු වූ බව සිල්වර්වුඩ් මහතා පෙන්වා දුන්නේය. කණ්ඩායම් කළමනාකාරිත්වය ඔහුට සහයෝගය දැක්වීමට වග බලා ගන්නා බවත්, ඉදිරි පුහුණුවීම් කොට පිතිකරණ දක්ෂතා ඉහළ නංවා ගැනීමට දසුන්ට උදව් කිරීමට සූදනමින් පසුවන බවත් පැවසීය.