– ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා වරම්
– දකුණු කොරියාවේ සංචාරයකටත් ජනපතිට ආරාධනා
ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) මහතා ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සිදු කරන කැපවීමද පැසසුමට ලක් කළේය.
දකුණු කොරියාව ශ්‍රී ලංකාවට දෙන රැකියා ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ තුළින් ඉදිරියේදී ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදාවනු ඇති බවත් දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවසීය.
දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කැපවීම ද මෙහිදී අගය කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා අතර නිල හමුව නිව්යෝර්ක්හි එක්සත් ජාතීන් සඳහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේදී පෙරේදා (18) සිදුවිය.
මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, සුහද කතා බහකින් අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වූහ.
1978 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට පැමිණි බව සිහිපත් කළ නායකයන් එම සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වැඩිකර ගැනීම ගැන ද නායකයන්ගේ විශේෂ අවධානය යොමු වූ අතර, දෙරට අතර අත්සන් තැබීමට නියමිත වෙළෙඳ ගිවිසුමට කඩිනමින් එළැඹිමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
දැනට ශ්‍රී ලංකික තරුණ තරුණියන් විශාල පිරිසක් දකුණු කොරියාවේ රැකියාවල නිරත වන අතර, ඔවුන් එරට ආර්ථිකයට පුළුල් දායකත්වයක් සපයමින් සිටින බව සඳහන් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළේය.
දකුණු කොරියාවේ සේවයෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයන් නැවත සිය රටට පැමිණෙන්නේ නිපුණතාවෙන් යුත් ශ්‍රමිකයන් ලෙස බව පෙන්වා දුන් දකුණු කොරියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආර්ථිකයට එයින් මනා දායකත්වයක් ගත හැකි බව ද සඳහන් කළේය.
එසේම ඩිජිටල්කරණය සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන් අතර, ඩිජිටල්කරණයේ ඉහළ ප්‍රගතියක් අත්කරගත් දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට බොහෝ ආදර්ශ ගත හැකි බව දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවසීය.
නුදුරේදීම දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වන ලෙස ද මෙහිදී දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කළේය.
විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකාවේ සහ දකුණු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.