Home » උ/පෙළ ගැන පාර්ලිමේන්තුවේ අද විශේෂ ප්‍රකාශයක්

උ/පෙළ ගැන පාර්ලිමේන්තුවේ අද විශේෂ ප්‍රකාශයක්

by sachintha
September 21, 2023 5:03 am 0 comment

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද (21) සවිස්තරාත්මක විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසුවේය.

එම විශේෂ ප්‍රකාශය ධනාත්මක වනු ඇතැයි ද එම ප්‍රකාශයෙන් පසුව විභාග කොමසාරිස්වරයා උසස් පෙළ විභාගයේ දින තීරණය කරනු ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලමින් පක්ෂ විපක්ෂ සියලු දෙනා ඉදිරිපත් කළ අදහස් හා යෝජනා සලකා බැලීමක් සිදු කරන බවත් කිසියම් කරුණක් සම්බන්ධයෙන් සාධාරණීකරන කරුණු ඉදිරිපත් කරන්නේ නම් ඒවා සම්බන්ධයෙන් සලකා බලන බවත් ඇමැතිවරයා පැවසුවේය.

පසුගිය උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව කල් යෑමත් සමඟ ප්‍රතිඵල නිකුත් කිරීමට මාස දෙකක් පමණ ප්‍රමාද වූ බවත් මේ කරුණු සියල්ල පරීක්ෂා කර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා තීරණයක් ගන්නා බවත් ඇමැතිවරයා පැවසීය. මේ වර්ෂයේ උසස් පෙළ විභාගයට අපේක්ෂකයන් 221,000ක් අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවත් පසුගිය වර්ෂයේදී අයදුම්පත් 231,000ක් ඉදිරිපත් කර තිබුණ ද ඉන් සියයට 80ක් පමණක් විභාගයට පෙනීසිටි බවත් ඇමැතිවරයා පැවසුවේය. පාසල් විභාග පමණක් නොව විභාග දෙපාර්තමේන්තුව තවත් විභාග කටයුතු 300ක් පමණ වාර්ෂිකව පවත්වන බවත් කොවිඩ් නිසා මේ සියල්ලක්ම යම් වෙනස්කම්වලට භාජන වූ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT