Home » සාම්ප්‍රදායික සිතුම් පැතුම්වලින් බැහැරව පවතින ආර්ථික අර්බුදයට මුහුණ දිය යුතුයි

සාම්ප්‍රදායික සිතුම් පැතුම්වලින් බැහැරව පවතින ආර්ථික අර්බුදයට මුහුණ දිය යුතුයි

-ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

by sachintha
September 21, 2023 6:06 am 0 comment

“පුබුදින මීගමුව” වෙරළ සැණකෙළිය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් විවෘත වූ අවස්ථාව

පවතින ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා සාම්ප්‍රදායික සිතුම් පැතුම්වලින් බැහැරව අලුත් ලෙස, තරුණ ලෙස සිතිය යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේ, “පුබුදින මීගමුව” වෙස්ටන් බ්‍රීච් ෆෙස්ටිවල් වෙරළ සැණකෙළිය, සරුංගල් සැණකෙළිය, ආහාර සැණකෙළිය හා සංස්කෘතික සංදර්ශනයට සහභාගි වෙමිණි.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව වෙරළ තීරයේ දී පසුගියදා එය ආරම්භ විය.

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය, මීගමුව සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය සහ මීගමුව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ලද මෙම සැණකෙළිය දෙදිනක් පුරා මීගමුව වෙරළේ තීරයේ දී ක්‍රියාත්මක විය.

මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

ප්‍රවාහනය, සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයක්. ඒ අතරින්ද දුම්රිය ප්‍රවාහනයට සංචාරකයින්ගේ විශේෂ ආකර්ෂණයක්‌ පවතිනවා. ඒ හේතුවෙන්ම පසුගිය කාලය තුළ ඇල්ල ඔඩෙසි, සීතාවක ඔඩෙසි, යාල් නිලා වැනි සුඛෝපභෝගී සංචාරක දුම්රිය රැසක් ආරම්භ කිරීමට අප කටයුතු කළා. දේශීය හා විදේශීය සංචාරකයන් අතර එම දුම්රිය ඉතාමත්ම ජනප්‍රිය වී පවතිනවා. ඇල්ල ඔඩෙසි දුම්රිය මේ වන විට ජාත්‍යන්තර වශයෙන් පවා ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා. ඉදිරියේදී මීගමුව හරහා ද පුත්තලම ප්‍රදේශ දක්වා සංචාරකයින් වෙනුවෙන්ම වෙන් වූ විශේෂ දුම්රියක් ආරම්භ කිරීමට අප කටයුතු කරනවා. ඒ අනුව මීගමුව ප්‍රදේශය ඇතුළු මෙම කලාපයේ සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීමට දුම්රිය ද කේන්ද්‍ර කරගනිමින් බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සමඟ ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වනවා.

ජනතාව තවදුරටත් දේශපාලන සටන්පාඨවලට මුළා වන්නේ නැහැ. පවතින ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා සාම්ප්‍රදායික සිතුම් පැතුම් වලින් බැහැරව අලුත් ලෙස, තරුණ ලෙස සිතිය යුතුයි.පැරණි ආකාරයේ සිතුම් පැතුම්වලින් මේ අභියෝගයට මුහුණ දීමට හැකියාවක් නැහැ.

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුදත් හේවාපතිරණ මහතා, මීගමුව සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ සහ මීගමුව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරීන් සහ නියෝජිතයින්, දෙස් විදෙස් සංචාරකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT