Monday, May 12, 2025
Home » ඒකාබද්ධ ආර්ථික කොමිසම කඩිනමින් පිහිටුවීමට ඉරාන ජනපති යෝජනා කරයි

ඒකාබද්ධ ආර්ථික කොමිසම කඩිනමින් පිහිටුවීමට ඉරාන ජනපති යෝජනා කරයි

by chanaka
September 21, 2023 9:39 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රහිම් රයිසි මහතා (Seyyed Ebrahim Raisi) අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවර දී සිදු විය.

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සහයෝගීතාව සහ වසර ගණනාවක් පුරා දෙරට විසින් එකිනෙකා වෙත ලබා දුන් අන්‍යෝන්‍ය සහයෝගය පිළිබඳව සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ආර්ථික අර්බුදකාරී අවස්ථාවේදී ඉරානය ශ්‍රී ලංකාව ලබාදුන් සහාය පිළිබඳවද සිය කෘතඥතාව පළ කළේය.

නව ප්‍රවේශයන් ඔස්සේ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගත යුතු බව මෙහිදී පැවසූ ඉරාන ජනාධිපතිවරයා දෙරට අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කර ගැනීමේ ශක්තිමත් ප්‍රවේශයක් ලෙස ඒකාබද්ධ ආර්ථික කොමිසම කඩිනමින් පිහිටුවීමට ද යෝජනා කළේය.

විශේෂයෙන් ඉරානය සතු අතිනවීන කෘෂි තාක්ෂණ දැනුම මෙරට කෘෂිකර්මාන්තය සඳහා ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර ඉදිරියේ දී ඒ පිළිබඳව ද සහයෝගයෙන් කටයුතු කිරීමට නායකයෝ එකඟ වූහ.

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ පුළුල් අවස්ථාවක් පවතින බවත්, ඉන්දියානු සාගර වටද්දර සංගමයට (IORA) අයත් සාමාජික රටවල් ද එයට ඇතුළත් කරගතයුතු බවටත් නායක දෙපළ මෙහිදි පිළිගත්හ.

විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් විශේෂයෙන්ම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉරානය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් ශ්‍රි ලංකාවට පැමිණෙන ලෙස කළ ආරාධනාව ද ඉරාන ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබීය.

එසේම එම සංචාරයට සමගාමීව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට ද නායකයෝ මෙහිදී එකඟ වූහ.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන මහත්වරුන් ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් මෙම හමුවට එක්ව සිටී අතර ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය හොසේයින් අමීර් අබ්දුල්ලාහියන් (Dr. Hossaien Amir Abdollahian) මහතා ඇතුළු එරට නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT