Home » ඒකාගේ මිනියේ රෙදි ගලවන්න එපා පුතා

ඒකාගේ මිනියේ රෙදි ගලවන්න එපා පුතා

by sachintha
September 21, 2023 1:29 am 0 comment

තවත් චොර කර ගන්නේ නැතිව තිලීපන් කරෙන් බස්සවන්නැයි උතුරේ කොටි රැළට සහ දකුණේ නරි රැළට දැන්මම දන්වා සිටිමු. මේකා, බෝධිසත්ත්ව ගුණෝපේත තත්ත්වයට නංවන්නට හදන්න ගැන්සියට වුවමනා වී ඇත්තේ කොහොමින් හෝ කොටියා යළි ජීවමාන කරන්නටය.

අල්ප දයන්න වගේ වක ගැසුණු ‘උපවාසයට පෙර’ තිලීපන් වනාහි ‘ඩේට්ස් ආ නම්බර්ඩ්’ බඩුවක් විය. රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන් යාපනය සරසවියේ ඉගෙන ගන්නා කාලයේ පටන්ම පිළිකා රෝගියෙකි. කොටි සාමාජිකයෙක් බවට පත්වෙන හේ, ප්‍රභාකරන්ගේ අලුත්ම අවිය බවට පත් වන්නේ, ඔඩු දුවන ලද පිළිකාව නිසාය.

අතට අසුවෙන හැම ප්‍රතිවාදියාටම මරණය තෑගි කිරීමට අමතරව එල්ටීටීඊය වනාහි, අභ්‍යන්තරයෙන් ද අමු සොහොනක් විය. ඒ තුළ වධකාගාර තිබුණේ හමුදාව සිර කර තබන්නට පමණක් නොවේ. තම සාමාජිකයන් සහ වෙනත් දෙමළ ඊළාම්වාදීන් ද ඒ අමානුෂිකභාවයේ ගොදුරු විය. ඒ වන විට එල්ටීටීඊය සතුව, සංවිධාන අභ්‍යන්තරයේ අමානුෂික දිවි හරණ ක්‍රම කිහිපයක් විය.

1974 වසරේදී යාපනයේ බැංකුවක්‌ කොල්ලකෑම සඳහා උත්සාහ දරමින් සිටියදී, සිවකුමාරන් නමැති දෙමළ ත්‍රස්‌තවාදියා පොලිස් වැටලීමකට හසුවිය. පොලිස්‌ අත්අඩංගුවට පත් වීමට පෙර ඔහු, සයිනයිට්‌ කරලක්‌ ගිල දමා දිවි තොර කර ගත්තේය. ප්‍රභාකරන්ට පෙර යුගයේ ඊළාම් ත්‍රස්තවාදියෙක් වූ සිවකුමාරන්, ප්‍රභාකරන්ගේ වීරයෙක් විය. සිවකුමාරන් දිවි තොර කර ගත් ආකාරය පසු කාලයේදී තම සංවිධානයේ ‘නිල කටයුත්තක්‌’ බවට ප්‍රභාකරන් විසින් පමුණුවන ලදි. ඒ ආකාරයෙන් මියයෑම සඳහා අවශ්‍ය වන සයිනයිට්‌ කරලක්‌ ප්‍රභාකරන්ගේ සිට එල්. ටී. ටී. ඊ. ළමා ත්‍රස්‌තවාදියා දක්‌වාම සියලු දෙනාගේ බෙල්ලේ, පංචායුධයක් සේ එල්ලා තිබුණි. ප්‍රභාකරන්ගේ ලණු කා, යට සිටිය සෙට් එක, සයිනයිට් කා මළහ. ප්‍රභාකරන් මළේ, හමුදාව එල්ල කළ වෙඩි පහරකින්ය. සයිනයිට් කරල බෙල්ලේ එල්ලාගෙන, ජීවිතය බේරා ගැනීම සඳහා ඔහු වටේටම පණිවිඩ ලබා දුන්නා මිස ‘අරුන්ට දුන් ලණුව’ තමන් කෑවේ නැත.

තිලීපන් කියන්නේ ද ප්‍රභාකරන්ගේ තවත් ප්‍රදර්ශන භාණ්ඩයකි.

ඉන්දියන් හමුදාවට ගේමක්, අවියෙන් ලබා දීම අපහසු බැවින් විරෝධතා සීන් එකක් පෙන්වා, අවිහිංසාවේ ත්‍රස්තවාදය වපුරන්නට ප්‍රභාකරන් කල්පනා කළේය. මාරාන්තික උපවාසයක් පැවැත්වීම පිණිස කෙනෙක් සොයමින් සිටි ප්‍රභාකරන්ට, රෝගී තිලීපන් ගැන ආරංචි විය. තිලීපන් සහ ඔහුගේ පවුලේ අය ගෙන්වා ගත් ප්‍රභාකරන්, ඒ අය සමඟ සාකච්ඡා කළේය. කොහොමටත් පිළිකා රෝගයෙන් උඩු කුරුඤ්ඤ ගැසීමට නියමිතව සිටි එකාව ‘වීරයාට’අන්දවන ආකාරය පවුලේ අයට හේ වටහා දුන්නේය. තිලීපන් එයට වහා කැමති විය. තමා මළ විට කොටි සංවිධානයෙන් තම පවුලේ උදවියට ලැබෙන ගෞරවය ගැන කල්පනා කළ හේ, මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. එහි අවිහිංසා අරමුණු නොවීය. ත්‍රස්තවාදියෙකු ලෙසම උපවාසයට බට, ඒකා දැන් අන්දවන්නට හදන්නේ අවිහිංසාවාදී වීර චරිතයක් බවටය.

ප්‍රභාකරන් විසින් අන්දවා, උපවාසයෙන් ආරම්භ වී, පිළිකාව උත්සන්න වී මියගිය එකා, දැන් ආයෙත් අන්දවන්නට මේ හැත්ත වලි කන්නාහ. මුල්ම අවුල ත්‍රස්තවාදියෙක් සැමරීම නොවේ. මළ එවුන් අන්දවා වැඩ ගැනීමය. මේ පිරිස තරම් කට්ටඩියෝවත් මළ එවුන්ගෙන් වැඩ ගන්නේ නැත. මරණය ද ඇන්දීම නිසා සිදු වූ, මළ පසු ද දිගින් දිගටම අන්දන, තිලීපන් ගැන අප අනුකම්පා සහගතය. මේ විදිහට මිනිය ද අපහරණය වන වග දන්නේ නම්, ඒකා හමුදාවට භාර වී, මහරගමට ඇවිත්, සද්ද බද්ද නැතිව පිළිකාවෙන්ම මිය ඇදෙනවා ඇත. ‘87 සැප්තැම්බර් 15 දින කොළඹ ඉන්දීය මහකොමසාරිස් වෙත ඉල්ලීම් පහක් ඉදිරිපත් කළ එල්ටීටීඊය, පැය 24ක් තුළ එයට පිළිතුරු ඉල්ලා සිටියේය.

1. හදිසි නීතිය යටතේ හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම

2. පුනරුත්ථාපනය යන ලේබලය යටතේ ශ්‍රී ලංකා රජය විසින් කරන සිංහල ජනපදකරණය නැවැත්වීම

3. අන්තර්වාර පරිපාලන ඒකකයක් ඇති කරන තුරු සියලු පුනරුත්ථාපන කටයුතු අත්හිටුවීම

4. උතුරු නැඟෙනහිර පළාත්වල අලුතින් පොලිස් ස්ථාන ඇති කිරීම අත්හිටුවීම

5. ග්‍රාමාරක්ෂක භටයින් නිරායුධ කිරීම හා හමුදා/ පොලිස් භාරයේ ඇති පාසල් ගොඩනැඟිලි මුදාහැරීම. ඉල්ලීම් විය.

ඉන්දීය මහකොමසාරිස් ජේ. එන්. ඩික්සිත් ලිපියට ප්‍රතිචාර තබා මේ ජාතියේ ලියුමක් ලැබුණු බවට හෝ සංඥාවක් නොදුන්නේය. තිලීපන් නම් ලෙඩා දුකා ‘මාරාන්තික උපවාසය’ සඳහා වාඩි කරවනු ලබන්නේ, එම ඉල්ලීම් දිනා ගැනීමටය.

1987 සැප්තැම්බර් 22දා, තිලීපන් මළේය. ඔහු සැබවින්ම මළේ පිළිකා රෝගය උත්සන්න වීමෙනි. මාරාන්තික උපවාසය, ඔහුගේ රෝගය උත්සන්න වීමට විශාල ‘උදවුවක්’ විය. ලෙඩෙක් වනාහි දේශපාලන හෝ ත්‍රස්තවාදී සංවිධානයක ආයුධයක් නොවිය යුත්තේය. ඔය විදිහට බලන විට, මහරගම සිටින අසරණයින් ‘ඕනෑම වැඩකට බැස්සවිය’ හැකිය. ඒ ජාතිය, ත්‍රස්තවාදයට ඔට්ටු වුවාට, ශිෂ්ට ලෝකයට නොහොබිය. එහෙම අපහරණයෙන් ‘මළ එකා අසරණයෙක් මිස පුතා ඒකා වීරයෙක් නොවේ’ යැයි ඔය හය හතර නොතේරන, කුලප්පු වම්මුන්ට කියා දෙන්නැයි, දන්නා කියන එවුන්ට කියා සිටිමු. පාර්ලිමේන්තු මන්ත්‍රී කිට් එක ඇන්දා වුවද යටින් ඇත්තේ ‘පුල්ලි කිට් එක’ හෙයින්, ගජේන්ද්‍ර වැන්නෝ ‘අල්ලන්නෙම කැලෑවටය’.

මේ දෙජාතියටම කියා සිටිනුයේ, ඒකාට පාඩුවේ ඉන්න දුන්නා නම්, යම් වීරත්වයක් හෝ ඉතිරි වෙන්නට තිබුණු බවය. ඒ ‘කැන්සර් පේෂන්ව’ අර යෝධයා ඩමියක් කරගෙන, මිනියක් බවට පත් කළේය. මේ ගැන්සිය, ඒකාගේ මිනියට අන්දවා තිබූ රෙදි පිළි ද ගලවා නිරුවතින්ම වළ දමන්නාහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT