Home » ආකල්පමය වෙනසක් කරන්න – අපි තාමත් ප්‍රමාද නැහැ

ආකල්පමය වෙනසක් කරන්න – අපි තාමත් ප්‍රමාද නැහැ

-සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි

by sachintha
September 21, 2023 5:31 am 0 comment

මෙරට තරුණ ජනගහණය රට හැර යාම වේගවත්ව ඇතැයි විශ්වවිද්‍යාල මට්ටමෙන් සිදු කළ පර්යේෂණයක් මඟින් තහවුරුව ඇති බව පසුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණි. මේ තත්ත්වය පාලනය කිරීම ඉක්මනින් කළ යුත්තකි. මේ සඳහා ගත යුතු සැලසුම්සහගත ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

තරුණ පරම්පරාව රට හැර යාම රටේ අනාගතයට ප්‍රබලව බලපානවා

පාසල් ගු රුවරුන්ට නිසි ආකාරයේ පුහුණුවක් දිය යුතුයි

මේ රටේ ප්‍රජාවට රට ගැන හැඟීමක් ඇති කළ යුතු කාලයක්

බුද්ධි ගලනය සාමාන්‍යයෙන් සිදුවන දෙයක්

මෙරට අවුරුදු 18 – 25ත් අතර 80%ක් පමණත්, වයස අවුරුදු25 -36ත් අතර තරුණ කණ්ඩායම්වලින් 70%ක් පමණත් මෙරට අත් හැර විදෙස්ගත වීමට අදහස් කරගෙන තිබෙන බව විශ්වවිද්‍යාල මට්මමෙන් සිදු කළ පර්යේෂණයකින් තහවුරු වෙලා තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳව තරුණ කණ්ඩායම් ඇසුරේ සිටින මහාචාර්යවරයකු විදිහට ඔබේ අදහස කුමක්ද?

ඇත්තෙන්ම මේ පිළිබඳ පර්යේෂණ වාර්තාව මම දැක්කා. මෙවැනි තත්ත්වයක් ඇති වීම පිළිබඳව වඩාත් හොඳින් සැලකිලිමත් විය යුතුයි. ඇයි මේ තරුණ දරුවො රට හැර යන්නේ කියලා අපි මූලිකව සලකා බලන්න ඕනෑ. එසේ සොයා බලා ඒ දරුවන් රට හැර යන තත්ත්වයට පත් වුණේ ඇයි? ඒ අයට රට එපා වුණේ ඇයි? ද කියන කරුණ සලකා බැලිය යුතුයි. සැබෑ ලෙසම තරුණ පරම්පරාව රට අත් හැර යාම වේගවත් වීම රටේ අනාගතයට ප්‍රබල විදිහට බලපානු ලබන දෙයක් විදිහට හඳුන්වා දීමේ වරදක් නැහැ. මට පෙනෙන විදිහට මේ තරුණ කණ්ඩායම් රට අතහැර යාමට ප්‍රධානම හේතුව බවට පත්වෙලා තිබෙන්නේ ඔවුන්ගේ අනාගතය පිළිබඳව ඇතිව තිබෙන අපේක්ෂා භංගත්වයයි. ඒ වගේම ඔවුන්ට මෙරට තුළ අනාගතයක් නැති වේවි යන අ‍ෙප්ක්ෂාවයි. ඒ නිසා තරුණ පරපුර මේ වගේ අදහසකින් වැඩ කිරීමට පෙලඹුණේ ඇයි ද යන්න සලකා බලා වැඩ කළ යුතුයි.

ඒ විදිහට තරුණ හැඟීම් ඔවුන්ගේ අදහස් තේරුම් නොගෙන වැඩ කළොත්, අපට අනාගතයේදී අදට වඩා නරක තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙනවා. ඇත්තෙන්ම අද අපේ රටේ තරුණ කණ්ඩායම් වෙත තමන්ගේ රට එපා වෙලා තිබෙන්නේ ඇයි ද කියලා ඉක්මන් විමසීමක් කිරීමෙන් පමණක් මේ තත්ත්වය නවත්වන්න බැහැ. අපේ තරුණ කණ්ඩායම් වෙත ආකල්පමය වෙනස් කම් ඇති කළ හැකි නව ක්‍රමවේද ඇති කළ යුතුයි.

ඒ සඳහා අප තාමත් පරක්කු නැහැ. ආකල්ප වෙනස් කම් මඟින් අපට වඩාත් සුදුසු පරිසරයක් ඔවුන් වෙත ලබා දෙන්න පුළුවන්. ඒ ආකල්පමය වෙනස් මඟින් රට තුළ තරුණ කණ්ඩායම් වෙත අවශ්‍ය පරිසරය නිර්මාණය වුණොත්, තරුණ පෙළ නැවත අපේ රට වෙත ආකර්ෂණය කර ගැනීමට හැකියාව තිබෙනවා.

ඔබ සඳහන් කරනු ලබන ආකල්පමය වෙනස ඇති කර ගැනීමට පුළුවන්කම තිබෙන්නේ කුමන විදිහේ සැලසුමක් ක්‍රියාත්මක කිරීම මඟින්ද?

තරුණ කණ්ඩායම් වෙත ආකල්පමය වෙනස්කම් සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරිමට ඇත්තෙන්ම අපි තාමත් ප්‍රමාද නැහැ .ඒ සඳහා අවශ්‍ය ආරම්භය ඇති කළ හැක්කේ අතරමැදින් නොවෙයි. පාසල් පද්ධතිය තුළින්මයි. ඇත්තෙන්ම අපේ පාසල් පද්ධතිය තුළින් ඒ අවශ්‍ය කරන ආකල්පමය වෙනසට අවශ්‍ය කරනු ලබන දායකත්වය ලබා දෙනවාද කියන කරුණ සලකා බැලිය යුතුයි.

අපට විශාල වූ ගසක් නම්‍යශීලි විදිහට නිර්මාණය කරනවාට වඩා කුඩා බීජයක්, පැළයක් බවට පත් කර කෙමෙන් ගසක් බවට පත්වීම තුළ ඇති කර ගන්න පුළුවන්. මම ඒ සඳහන් කළේ උදාහරණයක් පමණයි. ඒ උදාහරණයම අපට අපේ බාල පරපුර වෙතිනුත් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ විදිහට සිතා වැඩ කළොත්, අපට ඒ සඳහා පහසු ගමනක් යාමට හැකියාව ලැබෙනවා.

අපේ පාසල් පද්ධතිය තුළ මූලිකව සමානාත්මතාව ඇති කළ යුතුයි. රට තුළ පාසල් දහදහස් එකසීයක් ක්‍රියාකාරී මට්ටමෙන් තිබෙනවා. ඒ පාසල් සියල්ලටම සමාන විදිහට සැලකිල්ල ලබා දෙන්න ඕනෑ. ඒත්, අපේ රටේ සිදු වන්නේ තෝරා ගත් පාසල් දහසක් හෝ පන්සියයක් සංවර්ධනය කිරීම වගේ වැඩ පිළිවෙළකුයි. ඒක ඇත්තෙන්ම සුදුසු දෙයක් හෝ ප්‍රායෝගික දෙයක් නොවෙයි. ඒ නිසා සියලු පාසල් එක විදිහට සංවර්ධනය කිරීම මඟින් අපට මේ ආකල්පමය වෙනස්කම් සිදු කළ හැකියි.

මේ විදිහට වැඩ කිරීම මඟින් තරුණ පරපුර වෙත නැවත රට ගැන හැඟීමක් ඇති කළ හැකියි. එහෙම වැඩපිළිවෙළක් නැතිව වැඩ කිරීමේ ප්‍රතිඵල තමයි අද අප අත් විඳිමින් සිටින්නේ. මෙහිදී අප පූර්වාදර්ශ ඇති තැන් බවට පාසල පද්ධතිය පත් කරන්න පුළුවන්. අද බොහෝ වෙලාවට ටියුෂන් ක්‍රමය විලාසිතාවක් බවට පත්ව තිබෙනවා මේ විලාසිතාවෙන් අපේ තරුණ පරපුරට නව ගමනක් යාමට බැහැ. ඇත්තෙන්ම මේ සියල්ල යල් පැන ගිය ක්‍රම විදිහට හඳුන්වා දීමේ වරදක් නැහැ. එනිසා අප අවුරුදු ගණනක් පුරා එක තැන තිබෙන මේ ක්‍රමය යම් වෙනසක් වෙත ඉක්මනින් සිදු නොවුණොත් අර්බුදය තව දුරටත් උග්‍ර වීමට ඇති ඉඩ කර වැඩියි.

තරුණ පරපුර මෙරට හැර යාමට හේතු විදිහට ඔබ නිගමනය කරනු ලබන කරුණු සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටින කණ්ඩායම් රට අතැර යාම මඟින් රටට සිදුවන බලපෑම පිළිබඳව ඔබේ විග්‍රහය කුමක්ද?

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටින දැන උගත් පිරිස් රට හැර යාම රටේ අනාගතයට බරපතළ විදිහට බලපාන කරුණක්. ඒ නිසා වගකිව යුතු පාර්ශ්ව මේ ගැන වඩාත් ගැඹුරින් කල්පනා කර වැඩ කළ යුතුයි. එහෙම වැඩ කිරීම මඟින් රටට සිදුවන හානිය වළක්වා ගැනීමට පුළුවන්. එහෙම වුණොත් රට බුද්ධිමතුන්ගෙන් තොර හිස් බිමක් බවට පත්වෙනවා. ඇත්තෙන්ම මෙය කිසිසේත්ම සිදු නොවිය යුතු දෙයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.

බුද්ධි ගලනය සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. ඒත්, ඒක සාමාන්‍ය අගය ඉක්මවා ගියොත් නරක දෙයක් විදිහටයි හඳුන්වා දීමට පුළුවන් කම තිබෙන්නේ. ඒ නිසා මේ තත්ත්වය ගැන පැහැදිලි අවබෝධයක් ඇතිව වැඩ කළ යුතුයි. අපේ රට බුද්ධිමය කාන්තාරයක් වීම වැලැක්වීමට බලධාරීන් කටයුතු කළ යුතුයි. එහෙම වැඩපිළිවෙළක් ඇතිව කටයුතු කළොත්, අපට අනාගත අභියෝග ජය ගැනීමට හැකියාව ලැබෙන එක ස්ථිරයි.

මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් වගකිව යුතු කණ්ඩායම් මොනවාද?

මේ වාතාවරණයට එක් පිරිසකට පමණක් චෝදනා එල්ල කිරීම සාධාරණ දෙයක් විදිහට කියන්න බැහැ. සමහරු දේශපාලනඥයන්ට පමණක් චෝදනා එල්ල කරනවා. ඒත්, ඒ අය අල්ලා ගෙන තිබෙන්නේ ප්‍රශ්නයේ එක් කොටසකින් පමණයි. ඇත්තෙන්ම ප්‍රශ්නය තුළ ඊට වඩා දිගු දුරක් තිබෙනවා. අපි අපිට අයිති වගකීමක් රාජකාරියක් තිබෙනවා. ඒ වගකීම රාජකාරිය අනුව සියලු දෙනා වැඩ කළා නම්, තරුණ කණ්ඩායම් රට අතහැර යාමක් සිදු වෙන්නේ නැහැ. දේශපාලනය කරන කණ්ඩායම් වෙත පමණක් දොස් කීමෙන් අපට අපේ හිත් සනසා ගන්න පුළුවන්. ඒත්, අපට ඒ අදාල ප්‍රශ්නවලට අවශ්‍ය විසඳුමක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳව දැඩිව සලකා බලා කටයුතු කිරීම කළ යුතුයි. එහෙම වුණොත්, අපට ඇති විය හැකි ගැටලු සහගත තත්ත්වයන් රැසක් විසඳා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඉතාමත් විමසිලිමත්ව සහ අවධානයෙන් වැඩ කටයුතු කළ යුතුව තිබෙනවා.

පාසල් පද්ධතිය තුළ භෞතික සම්පත් පමණක් වර්ධනය කිරීමෙන් සියලු ගැටලුවලට විසඳුමක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා ඔබ හිතනවාද?

භෞතික පහසුකම් පමණක් වැඩි කිරීමෙන් අපට මේ ගැටලු විසඳන්න හැකියාව ලැබෙන බව සඳහන් කරනවා නම්, ඒක හරි දෙයක් නොවෙයි. ඒත්, පාසල් පද්ධතිය තුළින් ප්‍රතිපත්තිමය වෙනසක් ඇති වීම සිදු විය යුත්තේ. ඒ නිසා පාසල් පද්ධතිය තුළින් නිසි ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුයි. දරුවන්ට අවශ්‍ය කරන පළමු දේ වන්නේ නිසි පුහුණුවක් ලැබූ ගුරුවරුන් පිරිසක් ඒ සඳහා යොමු කිරීමයි. ඒ නිසා ගුරුවරුන් වෙත නූතන යුගයට ගැළපෙන පුහුණුවක් ලබා දීම කළ යුතුයි. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බලධාරීන්ගේ මූලික සැලසුමක් විය යුත්තේ.

බොහෝ අවස්ථාවල පාසල් ඇතුලු පද්ධති බිඳ වැටීමට ලක් වන්නේ නිසි සැලසුමක් නැතිව වැඩ කිරීම නිසයි. ඒ නිසා නිසි සැලසුම් සහිතව වැඩ කිරීම මඟින් අධ්‍යාපන අංශය තුළ විශාල ඉදිරිගාමී තත්ත්වයක් ඇති කරන්න හැකියාව තිබෙනවා. ඒ නිසා මූලිකව කළ යුතු අංගයක් බවට පත්විය යුත්තේ පාසල් පද්ධතිය තුළ සිටින ගුරුවරුන්ට නිසි ආකාරයේ පුහුණුවක් ලබා දීමයි. එවැනි පුහුණුවක් සහිත ගුරුවරුනට දරුවන් වෙත නිසි මඟ පෙන්වීමට හැකියාව ලැබෙනවා. එමඟින් අනාගත පරපුර වෙත නව අපේක්ෂා සහිත අනාගතයක් ඇති කිරීමට හැකියාව ලැබෙන බව ස්ථිරයි.

අවුරුදු18 -35ත් අතර තරුණ කණ්ඩායම් රට හැර යාම නිසා අනාගතයේ වැඩිහිටි පරපුර හුදෙකලා වීම ලොකු සමාජ ප්‍රශ්නයක් බවට පත් වීමට තිබෙන ඉඩ වැඩියි නේද?

ඒ තත්ත්වය අනාගතයේ දී නොවෙයි, වර්තමානයේදීම ඇති වෙමින් තිබෙන්නේ 2000 මුල් දසකය වන තුරුත්, වියපත් මවුපියන් වෙත සැලකීම ඔවුන්ගේ වගකීම් ගෙන වැඩ කිරීම, සමාජ වගකීමක් විදිහටයි පැවැතුණේ. අපි නියෝජනය කරන පරම්පරාව මාපියන්ට සැලකීම ජීවිතයේම කොටසක් විදිහටයි සිතුවේ. ඒ අනුවයි අපේ පරම්පරාවේ බහුතරය වැඩ කළේ. ඒ වගකීම මඟ හැර වැඩ කිරීම ලජ්ජාවක් විදිහටයි අප සැලකුවේ. ඒත්, අදවන විට එහෙම නෑ. බොහෝ අවස්ථාවල තම දූ පුතුන් අතින් මවුපියන් මඟ හැරෙනවා. එය අනාගතයේදී තව දුරටත් උග්‍ර වෙන්න පුළුවන්. සැබෑ ලෙසම මෙය සමාජ ප්‍රශ්නයක් විදිහට අනාගතයේදී මතුවීමට හැකි දෙයක්.

උදිත ගු ණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT