මාදෝවිට ඥානරතන හිමි පසුගියදා ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාරීය විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවෙන් සම්මත කරන ලද සද්ධර්ම කීර්ති ශ්‍රී පේමානන්ද යන ගෞරව නාමය සම්මුතිය සහිත නුවරඑළිය කඩවත් සතර ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ. මේ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය 21 වැනිදා මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේදීත්, 23 වැනිදා කඩදොරපිටිය ශ්‍රී මේඝානන්ද විහාරයේදීත් සිදු කරන ලදී.
මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී, සෝමාවතිය රාජ මහා විහාරාධිපති, ආචාර්ය පහමුණේ සුමංගල නාහිමිගේ සහ ත්‍රෛනිකායික නායක, අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය ද, බෞද්ධ කටයුතු කොමසාරිස් කේ. පී. සිරිබද්දන මහතා ප්‍රමුඛ සම්භාවනීය ගිහි පිරිස ද මේ අවස්ථාවට සහභාගී විය.
1963 ජූලි මස 02 වැනිදා උපත ලද උන්වහන්සේ 1978 මාර්තු මස 19 වැනිදා (15 හැවිරිදි වියෙහිදී) උතුම් පැවිදි දිවියට ඇතුළත්ව මහා ශාසන මෙහෙවරක නිරතව සිටී. 1968 ජූනි මස 12 වැනිදා මහනුවර මල්වතු මහා විහාරයට අයත් භික්ෂූන් වහන්සේ නමක් ලෙස උපසම්පදාව ලැබූ උන්වහන්සේ මේ වන විට කඩදොරපිටිය ශ්‍රී මේඝානන්ද විහාරය, කුඹල්ඔලුව ශ්‍රී බෝධිරුක්ඛාරාමය සහ පූඬලුඔය ශ්‍රී දේවානන්ද බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරස්ථානාධිපති තනතුර හොබවයි.
මාදෝවිට ඥානරතන නාහිමි කොත්මලේ රාවණාගොඩ විද්‍යාලෝක පිරිවෙනින් තම අධ්‍යාපන සේවය ආරම්භ කර කුඹල්ඔළුව, හාල්පොල විද්‍යාලය සහ පූඬලුඔය විද්‍යාකර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය යන විද්‍යාලවල ගුරුවරයකු ලෙස කටයුතු කරමින් තම සේවය සමාජගත කර ඇත. උන්වහන්සේ සම්බුද්ධ ශාසනයට බිහි කළ දීප්තිමත් ශිෂ්‍ය පරපුර අතර, ආචාර්ය උපාධිය හදාරමින් අමෙරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලීස්හි ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැළෙමින් සිටින කලබුළුලන්දේ ධම්මජෝති හිමි, හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කරන පල්ලේවෙල සුමතිරතන හිමි, රාවණාගොඩ විද්‍යාලෝක පිරිවෙනෙහි අධ්‍යාපනය කටයුතු කරන මාදෝවිට සුසීම හිමි සහ මාතර මිදිගම පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන මාදෝවිට සුබෝධ හිමි ඉහළින්ම සිටිති.
කොත්මලේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ලෙසත්, කොත්මලේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ වැඩබලන ලේකම් ලෙසත්, කොත්මලේ ප්‍රාදේශීය සභා පුස්තකාලයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙසත් කටයුතු කර ඇති මාදෝවිට ඥානරතන හිමි සියලු ප්‍රාදේශීය සුබසාධක සංගම්හි ප්‍රධාන අනුශාසක ලෙස ද කටයුතු කරමින් සැබෑ කසාවතක නොනිමි ශාසනික මෙහෙවර ඉටු කරයි. තවත් චිරාත් කාලයක් ශාසනික සේවාව සඳහා කැපවීමටත්, ප්‍රශස්ත සමාජ මෙහෙවරක නියැළීමටත් මාදෝවිට ඥානරතන නාහිමිට නිදුක් නීරෝගී චිර ජීවනය සැලසේවා.
ලොස්ඇන්ජලීස්හි ධර්මවිජය බෞද්ධ විහාරවාසී කලබුළුලන්දේ ධම්මජෝති හිමි