හම්බේගමුව පොලිස් වසම තුළ බඩඉරිඟු වගාවක් සිදු කරන මුවාවෙන් ඉතා සූක්ෂ්ම ලෙස වගා කළ මහා පරිමාණ ගංජා වගාවක් සහ එක් සැකකරුවෙකු පෙරේදා (19) පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව රත්නපුර, කහවත්ත පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.
මෙම වගාව පිහිටා ඇත්තේ හම්බේගමුව පොලිස් වසමේ ගල්කිරාමංකඩ ප්‍රදේශයේය. මෙය ඉතා රහසිගත ලෙස අක්කර භාගයක පමණ සාරවත් ලෙස වගා කර තිබූ ගංජා වගාවකි. එහි තිබී උස අඩි 10 – 15ක් අතර ගංජා ගස් 4000ක් සහ නැවත වගා කිරීම සඳහා තවාන් කර තිබූ ගංජා පැළ 50,000ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 24ක පමණ අයෙකු වන අතර, ඔහු හම්බේගමුව ජනපදයේ පදිංචි අයෙකි. අත්අඩංගුවට ගන්නා ලද සියලු ගංජා ගස් සහ පැළ එම ස්ථානයේදීම ගිනි තබා විනාශ කළ බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පවසයි.
ලද තොරතුරක් මත මෙම විශේෂ මෙහෙයුම සිදු කළ අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ගංජා ගස් කීපයක් අධිකරණ කටයුතු සිදු කිරීම සඳහා හම්බේගමුව පොලිසිය වෙත භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පවසයි.
මැදිරිගිරිය සමූහ – ඩබ්ලිව්.ඒ. පියතිලක