Home » ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ශ්‍රී ලංකා – නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසිය වැදගත් පියවරක් වේවි – ජනපති

ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ශ්‍රී ලංකා – නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසිය වැදගත් පියවරක් වේවි – ජනපති

by sachintha
September 21, 2023 5:04 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් මහතා අතර නිල හමුවෙන් පසු

නේපාලය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසිය වැදගත් පියවරක් වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමාගාමීව නිව්යෝර්ක් නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් මහතා අතර ඊයේ (20) නිල හමුවක් පැවති අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

දෙරට අතර අතීතයේ සිට පවතින දේශපාලනික, ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, මේ වසරේ අවසානයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසිය ඒ සඳහා ඉතා වැදගත් පියවරක් වනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේදී ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ නේපාල අග්‍රාමාත්‍යවරයා දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීමට ඇති හැකියාව ගැන ද අදහස් දැක්වීය. ශ්‍රී ලංකා සහ නේපාල ජනතාව අතර ආගමික හා සංස්කෘතික වශයෙන් බොහෝ සමානතා පවතින බවත්, දෙරට අතර සබඳතා පුළුල් කර ගැනීමේදී එය මනා රුකුලක් වනු ඇති බවත් මෙහිදී නායකයන් දෙපළ පිළිගත්හ.

එසේම ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අධ්‍යාපන අවස්ථා ඉහළ නංවා ගැනීම මඟින් අන්තර් පුද්ගල සබඳතා වැඩි දියුණු කර ගැනීම සහ සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, බහුපාර්ශ්වික සංසදවලදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම ගැන ද නායකයන් විසින් සාකච්ඡා කරන ලදී. විදේශ ඇමැති අලි සබ්‍රි, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මේ හමුවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT