පාසලකින් ලබන විධිමත් අධ්‍යාපනය දැනුමින් සපිරි හොඳ පුරවැසියෙක් බිහි කිරීමට ශක්තියක් වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. එහිදී සම්පත් සැලසුම් කරගැනීමේ දුෂ්කරතාවන් සහ අභියෝග රැසකට මුහුණදෙමින් සිටින බව අගමැතිවරයා කීවේය.
කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ විද්‍යාර්ථ ජන්ම අභිමානී උලෙළට පෙරේදා (19) එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. අධිෂ්ඨානයෙන් යුත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම රටට අවශ්‍ය දෙයක් බව අගමැතිවරයා කියා සිටියේය. අධ්‍යාපනයේ සැබෑ ජයග්‍රහණ ළඟා කර ගත හැකි වන්නේ ගුරුවරයා, දරුවන් සහ මවුපියන්ගේ එකමුතුවෙන් පමණක් යැයිද අගමැතිවරයා සඳහන් කළේය.
අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය. පිලිප් ගුණවර්ධන මහතා පළාතේ මන්ත්‍රීවරයෙක් හැටියටත් ඇමැතිවරයෙක් හැටියටත් ඒ කාලේ මේ විද්‍යාලවල අධ්‍යාපනය දියුණු කරන්න කටයුතු කළා. අපේ රටේ බොහෝ පාසල් ඒ කාල පරිච්ඡේදයේදී රජයේ විද්‍යාල ලෙස නොවෙයි තිබුණේ. 1961 අවසාන භාගයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයෙන් තමයි ලංකාවේ සියලු පාසල් රජයේ පාසල් බවට පත් කළේ. ඒ සඳහා දැවැන්ත වාද විවාද ගැටලු තිබුණා. අවිස්සාවේල්ල මන්ත්‍රීවරයා හැටියට පිලිප් ගුණවර්ධන මහතාගේ සහයෝගය හා මැදිහත් වීම් එදා රජයට දුන්නා. රටක ආණ්ඩුවක් කරන වැදගත් හා දීර්ඝකාලීන යහපත සඳහා වූ දෙයට සහයෝගය දක්වන්න ලැබුණ අවස්ථාවලදී එතුමා ඊට සහයෝගය දැක්වූවා. අධ්‍යාපනය අපි කාගේත් දරුවන්ගේ අනාගත දායාදය විදියට හඳුනාගන්න පුළුවන්.
අඩුපාඩුකම්වලින් පිරුණු අධ්‍යාපන ආයතන බොහොමයක් තිබෙනවා. මේ විද්‍යාර්ථ විද්‍යාලයේ දියුණුව සඳහා ගන්නා ලද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස විටින් විට විවිධ වර්ෂවල අපට සහයෝගය දෙන්න පුළුවන් වුණා. මහජන නියෝජිතයෙක් හැටියටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටත්, පුරවැසියෙක් හැටියටත් අපට පාසලට දිය හැකි දායාද සහ සම්පත් සම්භාරය වැඩි කරන්න පුළුවන්. මේ රටේ ක්‍රියාත්මක මේ තරගකාරී අධ්‍යාපන ක්‍රමය ගැටලු රාශියක් නිර්මාණය කර තියෙනවා.
අධ්‍යාපනය ලබන දරුවන්ට දැනුම ලබා දීම වගේම සම්පත් සැලසුම් කරගැනීමේ දුෂ්කරතාවන් සහ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා අපි උත්සාහ දරමින් ඉන්න යුගයක් විදියට මේ යුගය හඳුනා ගන්න පුළුවන්.
මේ විදුහලටත් ගම්වාසීන්ටත් බීමට වතුර නැහැ. එම බාධාව ඉක්මනින් විසඳා දෙමින් ප්‍රදේශවාසීන්ට නළ ජලය ප්‍රයෝජනයට ගන්න හැකි අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, හිටපු නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මහත්වරුන්ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
නුවන් කොඩිකාර