සිසුවියක බලෙන් වැසිකිළියකට ගෙනිහින් ඉස්කෝලෙනුත් පන්නලා
දෙවලපොල පිහිටි නිවෙසක් ඉදිරිපිට ක්‍රීඩා කරමින් සිටි දහසය හැවිරිදි සිසුවකු මෝටර් රථයකින් පැහැරගෙන ගොස්, පහර දෙමින්, රහස් ප්‍රදේශයට මිරිස් කුඩු දමා, ලාච්චුවේ දමා සිර කරමින් අමානුෂික ලෙස වධ හිංසා කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. එසේ අත්අඩංගුවට ගැනීමට නියමිත අය අතර අඹුසැමි යුවළක්, හමුදා සෙබළකු ඇතුළු හය දෙනෙක් සිටින බවත්, මේ අය ගේදොර අත්හැර පලාගොස් සැඟව සිටින බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
අත්අඩංගුවට ගැනීමට සොයන කාන්තාව ඇඟලුම් කම්හලක සේවයේ නිරතව සිටින තැනැත්තියකි. ඇය පසුගිය 18 දා රාත්‍රියේ රැකියාව නිම කර නිවෙස බලා ගමන් කරමින් සිටියදී අඳුරු ස්ථානයකදී පුද්ගලයකු ඇයගේ මුහුණ වසා, ඇය කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් අතවර කිරීමට තැත් කර ඇත. එහිදී ඒ කාන්තාව එම පුද්ගලයාට වැර යොදා පා පහරක් එල්ල කර ඇති බවත්, එයින් ඔහු විසි වී ගොස් අසල මඩ වගුරකට වැටී ඇති බවත් පොලිසිය කියයි. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කාන්තාව දිව ගොස් තමාට සිදු වූ හිරිහැරය සිය සැමියාට පවසා තිබේ. ඒ අනුව සැමියාත් අසල්වැසියනුත් ඇයට බලහත්කාරකමක් පෑමට සූදානම් වූ පුද්ගලයා සොයා ඇතත් ඒ අවස්ථාවේ ඔහු සොයා ගැනීමට හැකි වී නැත.
මේ ගැන තවදුරටත් විපරම් කර සොයා බැලීමේදී එම කාන්තාවගේ සැමියාට තොරතුරක් ලැබී ඇත්තේ සිය බිරියට අතවර කරන්නට ගොස් ඇත්තේ මේ සිසුවා බවයි. ඒ අනුව එම කාන්තාවගේ දියණිය විවාහ වීමට සිටින බව කියන හමුදා සෙබළකු ඇතුළු පිරිසක් සමඟ එක්ව පෙරේදා (19) සවස මේ සිසුවා මෝටර් රථයක දමාගෙන පැහැරගෙන ගොස් දාගොන්න ප්‍රදේශයේ ස්ථානයක සිර කරගෙන පහර දී අමානුෂික වධ බන්ධනයන්ට ලක් කර ඇති බව පොලිසිය කියයි. ඔහු පැහැරගත් පිරිස පෙරේදා (19) රාත්‍රියේ මත්පැන් බොන්නට පටන් ගෙන ඇති බවත් ඒ අවස්ථාවේදී සිසුවා පලාගොස් වසා දමා ඇති ඇඟලුම් කම්හල් ගොඩනැඟිල්ලක සැඟවී සිට ඊයේ (20) උදෑසන නිවෙසට පැමිණ ඇති බවත් පොලිසිය කියයි. පැහැරගැනීම ගැන පොලිසියට පැමිණිලි කර ඇත්තේ එම සිසුවාගේ පියාය. ඒ ගැන විමර්ශන පැවැත්වීමේදී පෙනී ගොස් ඇත්තේ මේ සිසුවා මෑතකදී ඔහු අධ්‍යාපනය ලබමින් සිටි පාසලෙන් පවා ඉවත් කර ඇති බවයි. ඒ පාසලේ සිසුවියක වැසිකිළියකට බලහත්කාරයෙන් රැගෙන යෑමේ සිදුවීමක් මුල් කරගෙන බවට තොරතුරුද පොලිසියට ලැබී ඇත. පහර කෑමට ලක් වූ සිසුවා මේ වන විට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
ගයාන් කුමාර වීරසිංහ