Sunday, May 11, 2025
Home » මා කළ ප්‍රකාශයක් විකෘති කර ඇතැමුන් දේශපාලන අරමුණු වෙනුවෙන් ප්‍රචාර ගෙන යනවා -පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

මා කළ ප්‍රකාශයක් විකෘති කර ඇතැමුන් දේශපාලන අරමුණු වෙනුවෙන් ප්‍රචාර ගෙන යනවා -පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

by sachintha
September 21, 2023 7:03 am 0 comment

තේරීම් කාරක සභාවේ තමා කළ ප්‍රකාශයක් විකෘති කර මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නම් සම්බන්ධ කර ගනිමින් ඇතැම් අය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ද්වේෂසහගත ලෙස ප්‍රචාර ගෙන යන බව එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, වජිර අබේවර්ධන මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී ඒ මහතා මෙසේද කීය. තේරීම් කාරක සභාවේ මා කළ ප්‍රකාශ ඇතැම් අය විකෘති කර ප්‍රචාරය කිරීමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට අපහාස සිදුවීම ගැන මා කනගාටු වෙනවා.

පසුගිය කාලයේ රටේ ඇති වූ තත්ත්වයන් ගැන මා පාර්ලිමේන්තුවේ දී අවස්ථා කීපයක දී සහ 2022 වර්ෂයේ කර තිබූ ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා මා අදහස් ප්‍රකාශ කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27, 28, 29 වගන්තිවලින් ජනතාවට සිදු වී ඇති හානි සම්බන්ධයෙන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150, 151 වගන්ති සම්බන්ධයෙන්, එම කරුණුවලට අනුකූලව මේ රට ඉදිරියට නිවැරදි විය යුතු මාර්ගය සකස් කිරීමට අවශ්‍ය කාරණා ද මා එහිදී සඳහන් කළා. එම කිසිදු කාරණයක දී මා කිසිම මුදල් අමාත්‍යාංශ නිලධාරියකුගේ නමක් සඳහන් කළේ නැහැ. දේශපාලනඥයන් හෝ රාජ්‍ය නිලධාරීන් අතින් වූ වැරදි නිවැරදි කර ගැනීම ගැන අවධානය යොමු කළා මිස වෛරය හෝ ක්‍රෝධය පැතිරී යන කිසිදු ප්‍රකාශයක් මා කළේ නැහැ. 2022 අප්‍රේල් 08 වැනි දින, වර්තමාන ජනාධිපතිවරයා එවකට පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය පිළිබඳව මා කමිටු රැස්වීමකදී විශේෂ අවධානය යොමු කළා. එම ප්‍රකාශ ගැන විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වර්තමාන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නම හා වෙනත් පුද්ගලයන් නම් කරමින් වෛරයෙන් හා ක්‍රෝධයෙන් විකෘති කර දක්වා තිබෙනවා. රටක් බංකොලොත් වූ පසු එම රට ගොඩගැනීම සඳහා සිදු වූ වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියට යා යුතුව ඇත. අපට දැන් කළ හැක්කේ ඉතිහාසයේ සිදු වූ වැරදි නිවැරදි කර අනාගතයේ එසේ නොවීමට වග බලා ගැනීම පමණයි.

එයට වෛරය, ක්‍රෝධය මුසු කිරීම බලවත් කනගාටුවට කරුණක්. බංකොලොත් රට නිවැරදි මාවතට ගෙන එමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින අවස්ථාවක අනාගතයේ මෙවැනි සිදුවීම් නොවීමට තේරීම් කාරක සභාවක් පත් කර ඇත්තේ වරදට අදාළ තොරතුරු සොයාගෙන, ඒවා නිවැරදි කිරීම සඳහා අවශ්‍ය කරන නීති රීති සම්පාදනය කිරීම සහ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගැනීමටයි.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT