පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මඟින් ලබා දී ඇති නිර්දේශ මේ වන විට ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.
ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම විනය පරීක්ෂණ සිදු කිරීම ආදිය පවා සිදු කරන බවද ඇමැතිවරයා පැවසීය. එමෙන්ම එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව මඟින් පොලිස් නිලධාරීන්ට චෝදනා එල්ල කර නොමැති බවත් එම වාර්තාවේ සඳහන් වන්නේ නිරීක්ෂණ සිදු කරන බව යනුවෙන් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
අදාළ වාර්තාව නීතිපතිවරයාට භාරදී ඇති අතර, එය අධ්‍යයනය කිරීමෙන් පසුව කවර වගන්ති යටතේ නඩු පවරන්නේද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයා තීරණය කළ යුතු අතර, එසේ නොමැතිව නිලධාරින්ගේ නම් මෙහි ප්‍රකාශ කිරීම නුසුදුසු බවද ඇමැතිවරයා පැවසීය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
පාස්කුදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව එම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මෙහිදී විමසීය.
නඩු පවරන්න කියපු නිලධාරීන් කවුද?
මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි
නියෝජ්‍ය කථානායතුමනි, මම විමසන ලද ප්‍රශ්නයට ලබාදුන් පිළිතුර නිවැරැදි නැහැ. පාස්කුදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවෙන් නිර්දේශ කර තිබෙනවා, යම් නිලධාරීන් පිරිසකට නීතිමය කටයුතු කරන ලෙසට. එසේත් නැත්තම් නඩු පවරන්න කියලා. ඒ අය කවුද? ඒ අය ඒ අවස්ථාවේ හිටියේ කොහෙද? මොන තනතුරුවලද? වර්තමානයේ ඒ අය ඉන්නේ කොහෙද? තනතුරු හා උසස් වීම් ලබා දී තිබෙනවද ආදිය තමයි සංක්ෂිප්තව අහන්නේ.
එක එක නිලධාරීන්ගේ නම් මෙතන කියන එක වැරැදියි
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්
මන්ත්‍රීවරයා විමසන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පොලිස් නිලධාරීන් කවුද කියලයි කොමිෂන් සභා වාර්තා එකකින්වත් චෝදනා එල්ල කර නැහැ. නිරීක්ෂණය කරනවා කියලා නීතිපතිතුමාට තමයි භාර දී තිබෙන්නේ. මෙය අධ්‍යයනය කර මොන වගන්තිය යටතේ නඩු දානවද යන්න තීරණය කරන ලෙසට. එතකොට චෝදනා එල්ල වූ බවට මෙතන එක එක නිලධාරීන්ගේ නම් මම මෙතන කියන එක වැරැදියි. නීතිපතිතුමා චෝදනා ගොනුකර මොනවා හරි කළාට පසුව මට කියන්න පුළුවන් මේ නිලධාරීන්ට දැන් නඩු පවරා තිබෙනවා, ඒ වෙනුවෙන් නීතිපතිතුමා තීරණය කර තිබෙනවා කියලා. ඒ නිසයි අපි මේකේ නම් කරලා නැත්තේ.
මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි-
නිලන්ත ජයවර්ධනට නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන්න කියලා නීතිපති දෙපාර්තමේන්තුවට මේක යවා තිබෙනවා. එතකොට ඔබතුමා කියනවා, නීතිපතිතුමා නඩු පවරනකම් ඒ ගැන ඔබතුමාට කියන්න බැහැ කියලා. ජනාධිපති කොමිෂන් සභාවකින් නම් කරන අය ගැන කොහොමද එතකොට කියන්නේ. එතකොට ජනාධිපති කොමිෂන් සභාව වැඩක් නැහැ කියන එකද කියන්නේ.
ඇමැතිවරයා-
ඔබතුමා එතනදි වැරැදියි. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් නිලන්ත ජයවර්ධනගේ නමවත් කොහෙවත් ලියලා නැහැ, කොමිෂන් එකේ. නිලන්ත ජයවර්ධනගේ නම ඇවිත් තිබෙන්නේ සුප්‍රිම් උසාවියේ නඩුවෙන්. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අරන් බලන්න, එක තැනකවත් නිලන්ත ජයවර්ධනගේ නම නැහැ.
මන්ත්‍රීවරයා කොමිෂන් වාර්තාවේ තියෙනවා.
ඇමැතිවරයා –
නැහැ
මන්ත්‍රීවරයා-
තියෙනවා.
ඇමැතිවරයා – කියවන්න එහෙනම්
මන්ත්‍රීවරයා
නිලන්ත ජයවර්ධනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරිය යුතු බව නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරල තියෙනවා.
ඇමැතිවරයා
කොහෙද ඒ කොළේ තියෙන්නේ.
හෙක්ටර් අප්පුහාමි-
තියෙන්නෙ කොමිෂන් වාර්තාවේ.
ඇමැතිවරයා-
පිටු අංකය කියන්න
මන්ත්‍රීවරයා-
මම පොතම ගෙනාවෙ නැහැ. මට පොතම කියන්න වෙලාව දෙනවා නම් මම කියන්නම්.
නිලන්ත ජයවර්ධනට
නඩු දමන්න ආණ්ඩුව බයයි
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල
වාර්තාවේ තිෙයනවා. අපි මේක දින තුනක් බැලුවා. එහෙම තියෙනවා. ඩීඅයිජී නිලන්ත ජයවර්ධනට තමයි මුලින්ම තොරතුරු ආවේ වට්ස්ඇප් එකෙන්. ඔහුගේ දුරකතන දත්ත මකලා. ඇයි මැකුවෙ මොකක් හරි හංගන්න.
නිලන්ත ජයවර්ධනට නඩු දැම්මොත් ඒ පැත්තෙයි මේ පැත්තෙයි දෙපැත්තෙම විශාල පිරිසකට හිරේ යන්න වෙනවා. නීතිපතිවරයා නිර්දේශ කරලා තිබෙනවා. ආණ්ඩුව නිලන්ත ජයවර්ධනට නඩු දාන්න බයයි.
මන්ත්‍රීවරයා-
වාර්තාවේ පිටු අංක තුන්සිය විස්සෙ තමයි තියෙන්නෙ. ඒ පිටුව කියවලා ඔබතුමා මට පිළිතුරු දෙන්න. නිලන්ත ජයවර්ධන මෙතැනට ගෙනැල්ලා ප්‍රශ්න කළොත් ප්‍රහාරයේ සුලමුල හෙළි වෙයි. කවුද මේක හංගන්නෙ?
ඇමැතිවරයා-
එතුමා හිතන දේවල් කියන්නෙ එළිවෙයි කියලා. එළිවෙනවා ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඔබතුමාලා මතක තියාගන්න නිලන්ත ජයවර්ධනට නඩු දාන්න බයයි කියලා කිවුවා . බයවෙන්න දෙයක් නැහැ. නිලන්ත ජයවර්ධනට නඩු දාලා වැරැදි කරුවෙක් වී තිබෙනවා. නිලන්ත ජයවර්ධනට ඕන එකක් කියන්න තිබුණා. ජයවර්ධනට නඩුවක් තියෙනවා. දඩත් ගහලා අවසන් වුණේ. එතැනදි කියන්න තිබුණා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා-
සිවිල් අධිකරණයෙන් දඬුවම් කළේ. ඒ උසාවියෙන් හිරේ යවන්න බැහැ.
ඇමැතිවරයා-
මම කිවුවේ නිලන්ත ජයවර්ධනට සියලු දේ කියන්න තිබුණා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා-
ඒ අය තමයි මිලියන හැත්තෑ පහේ දඩේ ගෙවුවේ. මොකද නිලන්ත ජයවර්ධන කට ඇරියා නම් ඒ පැත්තෙයි මේ පැත්තෙයි විශාල පිරිසක් හිරේ යනවා. ඒකයි ඇත්ත.
වාර්තා තුනේම නිර්දේශ ක්‍රියාත්මක කරන්න
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. ඒ වගේම ජනාධිපති කොමිෂන් සභාවක්ද පත් කළා.මලල්ගොඩ වාර්තාවත් ආවා. මේ පාස්කුඉරිදා ප්‍රහාරය කේන්ද්‍රගත කරගෙන මෙම සියලු වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කළොත් වින්දිතයන්ට සාධාරණයක් සිදු වෙනවා. ඒ නිසා මේ වාර්තා තුනේ නිර්දේශ ටික ක්‍රියාත්මක කරන්න.
හෙක්ටර් අප්පුහාමි මහතා
ප්‍රහාර එල්ල කළාට පස්සේ සහරාන්ලාගේ ප්‍රතිඥාව සමාජ මාධ්‍ය වෙත මුදා හැරියා. අපේ රටේ දක්ෂ පොලිසියක් තියෙනවා. මුදා හැරපු කෙනා තවමත් නීතියේ රැහැනට අල්ල ගන්න බැරි වුණාද?
ඇමැතිවරයා
මම බලලා කියන්නම්