Home » හොරෙන් ගොඩගත් දැරියගේ මළ සිරුර සොයා දුන්නොත් ලක්ෂ විස්සක් – ඔත්තුවකට ලක්ෂ දහයක්

හොරෙන් ගොඩගත් දැරියගේ මළ සිරුර සොයා දුන්නොත් ලක්ෂ විස්සක් – ඔත්තුවකට ලක්ෂ දහයක්

-මිත්තණිය මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රසිද්ධ කරයි

by sachintha
September 21, 2023 1:32 am 0 comment

වවුනියාවේ රාසේන්ද්‍රකුලම් පොදු සුසාන භූමියේ මිහිදන් කිරීමෙන් පසුව කවරෙකු හෝ මිනී වළ හාරා පැහැර ගෙන ගිය දැරියගේ මළ සිරුර ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ විස්සක මුදලක් ත්‍යාගයක් ලෙස ලබා දෙන බව පවුලේ ඥාතීන් පෙරේදා (19) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

2023 අගෝස්තු මස 25 වැනිදා වවුනියාවේ, පම්පමඩුව ප්‍රදේශයේ ළිඳකට වැටී ලිංගරාජා ඩීබිකා නමැති අවුරුදු එකයි මාස එකොළහක දැරියක් මියගිය අතර, ඇගේ භූමදාන කටයුතු වවුනියාව රාසේන්ද්‍රකුලම් පොදු සුසාන භූමියේදී සිදු කොට තිබේ.

මේ මස 7 වැනිදා දැරිය මිහිදන් කළ ස්ථානයේ උදැල්ලක් ඇති බවටත් මිනී වළ හාරා ඇති බවටත් ගම්වාසීන් පිරිසක් දැරියගේ පියාට කළ දැනුම් දීමක් මත ඔහු එම ස්ථානයට ගොස් බලන විට දැරියගේ දේහය මිනී වළෙන් අතුරුදන් වී ඇති අයුරු දැක ගැනීමට හැකි වී තිබේ.

වහාම මේ පිළිබඳව නෙළුකුලම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය ගොස් මිනීවළ හෑරීමට යොදා ගත් උදැල්ල සිය භාරයට ගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති නිසා පවුලේ ඥාතීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ලෙස කනස්සල්ලෙන් පසුවෙයි.

මියගිය දැරියගේ මිත්තණියක විදේශ රටක සිට පැමිණ පවුලේ ඥාතීන් සමඟ එක්ව වවුනියාව මාධ්‍ය සමාජ රැස්වීම් ශාලාවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ පැහැරගෙන ගොස් ඇති දැරියගේ මෘත දේහය යළි බාර දෙන අයෙකුට රුපියල් ලක්ෂ විස්සක මුදල් ත්‍යාගයක්ද පොලිසියට නිවැරදි තොරතුරක් සපයා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 10ක් ද පිරිනමන බවත් සියලුම තොරතුරු ඉතා රහසිගතව ආරක්ෂා කරන බවත්ය.

දැරියගේ මළ සිරුර පැහැර ගෙන යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT