Sunday, May 11, 2025
Home » හංවැල්ල ක්‍රීඩා මණ්ඩපයේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නැවතිලා

හංවැල්ල ක්‍රීඩා මණ්ඩපයේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නැවතිලා

by sachintha
September 21, 2023 1:32 am 0 comment

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ (ජාතික පාසල) දරුවන්ගේ හා ප්‍රදේශයේ පාසල්වල දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මහජන මුදල් වැයකර විදුහල් ක්‍රීඩා පිටියේ ඉදිකරනු ලබන, ක්‍රීඩා මණ්ඩපයේ ඉදිකිරීම් කටයුතු වසර කිහිපයක සිට අතරමඟ නැවතී ඇතැයි ආදි සිසුහු දැඩි කලකිරීමකින් යුතුව පවසති.

අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසයේ පාසල් අතුරින් විශාලතම ක්‍රීඩාංගණය හා ප්‍රදේශයේ ඇති එකම ක්‍රීඩා පාසල ද පිහිටුවා ඇති රාජසිංහ විදුහල් ක්‍රීඩාපිටිය, පාසලේ සිසුන්ට මෙන්ම ප්‍රදේශයේ අනෙකුත් පාසල්වල දරුවන් ද ක්‍රීඩා තරග සඳහා ප්‍රයෝජනයට ගනු ලබයි.

මීට වසර ගණනාවක සිට මෙම ක්‍රීඩාපිටියේ පැරණි ක්‍රීඩා මණ්ඩපයක් තිබූ අතර, එය ඉවත් කර මෙම නව ක්‍රීඩා මණ්ඩපය ඉදිකිරීමේ වැඩකටයුතු ආරම්භ කර එය ද අතරමඟ නවතා දැමීම නිසා ක්‍රීඩාපිටියට පැමිණෙන ක්‍රීඩකයින්ට තම ඇඳුමක් මාරු කර ගැනීමට, අව්වෙන් හා වැස්සෙන් බේරීමටවත් ස්ථානයක් නොමැති තත්ත්වයට පත්ව ඇතැයි ඔවුහු පවසති. ‍

මෙම ක්‍රීඩාංගණයේ එක් පසෙක ඇති ක්‍රීඩා පාසලේ පුහුණුව ලබන දරුවන් ද 3000 කට අධික සිසුන් පිරිසක් ඉගෙනුම ලබන රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ දරුවන්ට ද ප්‍රදේශයේ දරුවන්ට ද ප්‍රයෝජනයට ගත හැකි ලෙස මහජන මුදල් වැය කර ඉදිකිරීම් ආරම්භ කළ මෙම ක්‍රීඩා මණ්ඩපය, මෙලෙස අතරමඟ නවතා දැමීම විශාල පාඩුවක් බව ඔවුහු පවසති.

ළඟම පාසල හොඳම පාසල යන සංකල්ප යටතේ මහජන මුදල් කෝටි ගණනක් වැය කර කිසිදු අරමුණක් නොමැතිව ක්‍රීඩා මණ්ඩපයේ ඉදිකිරීම් කටයුතු මෙලෙස අතරමඟ නවතා දැමීම නිසා පාසලෙන් හා ප්‍රදේශයෙන් රටට බිහිවීමට පෙරුම් පුරන දක්ෂ ක්‍රීඩකයින්ට මෙය වැට බැඳීමක් බව ඔවුහු පවසති.

ලොවක් ජය ගැනීමට වෙර දරන දරුවන්ගේ සම්පතක් වන මෙම ක්‍රීඩා මණ්ඩපයේ ඉතිරි සංවර්ධන කටයුතු ආරම්භ කර එය සිසු අයිතියට පත් කර දෙන මෙන් ඔවුහු වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ජගත් ප්‍රියශාන්ත සූරසේන මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.

විදුහල් ක්‍රීඩාපිටියට ක්‍රීඩා මණ්ඩපයක් නොමැතිවීම විශාල පාඩුවක් නිසා මා මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර ඇති බව ද විදුහල්පතිවරයා පැවසීය.

ඉදිකිරීම් අතරමඟ නැවතුන හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා මණ්ඩපය.

පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT