කළුතර දිස්ත්‍රික්කයේ වෙනත් කිසිදු පුස්තකාලයක් සතු නොවන, රුපියල් ලක්ෂ 60ක පමණ වටිනාකමකින් යුත් ඉංගිරිය මහජන පුස්තකාලයේ අතිනවීන පහසුකම්වලින් සමන්විත ජංගම පුස්තකාල රථය දීර්ඝ කාලයක සිට භාවිතයට නොගෙන පුස්තකාල පරිශ්‍රයේ කොනක ගාල්කර තැබීම සම්බන්ධයෙන් පාඨකයෝ සිය නොසතුට පළ කරති.
හොරණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන අශෝක රණතුංග මහතාගේ ඉල්ලීම පරිදි බත්තරමුල්ල හෝම්ලෑන්ඩ්ස් සමාගම විසින් වායුසමීකරණය කළ මෙම බස් රථය ඉංගිරිය පුස්තකාලය වෙනුවෙන් ලබාදී තිබූ අතර, තාක්ෂණික වශයෙන් දියුණු පුස්තකාලයක් සතුවන අතිනවීන පහසුකම් සියල්ල ඇතුළත් එය පුස්තකාලය වෙත පැමිණීමට අපහසු අවම පහසුකම් සහිත ගම්මානයන්හි පාසල් මෙන්ම දහම් පාසල් දරුවන්ගේ සේවය පිණිස යොදවා තිබුණි.
හොරණ ප්‍රාදේශීය සභාවේ අවසාන වශයෙන් සභාපති ධුරය හෙබවූ දිලිප් වීරක්කොඩි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, “තම පාලන කාලය ආරම්භයේදී මෙම බස් රථය සාර්ථක අන්දමින් ගම්දනව් කරා ගොස් දරුවන්ට සෙත සැලසූ බවත්, නමුත් බස් රථයේ ලියාපදිංචි ‘පොත’ හදිසියේ අස්ථානගතවීම නිසා එය මාර්ගයේ ධාවනයට අවශ්‍ය ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය ආදී ලියකියවිලි ලබා ගැනීමට නොහැකි වූ බවත්”ය.
මේ වන විට මාස හයකට අධික කාලයක් තිස්සේ පුස්තකාල පරිශ්‍රයේ ගාල්කර තිබෙන මෙම බස් රථය සම්බන්ධයෙන් හොරණ ප්‍රාදේශීය සභාවේ ලේකම් ප්‍රසන්න සිරිසේන මහතාගෙන් සිදු කළ කරුණු විමසීමකදී ඔහු පවසා සිටියේ, “බස් රථයේ ලියාපදිංචි පොත අස්ථානගතවීමෙන් එය ධාවනයට යෙදවීමට නොහැකිවීම සත්‍යයක් වන නමුත්, මෑතකදී එම ලියාපදිංචි පොත නැවත ප්‍රාදේශීය සභාව වෙත ලැබීම නිසා මේ වන විට ගැටලුව නිරාකරණය වී ඇති බවත්, මෙම ජංගම පුස්තකාල රථය ඉතා නුදුරේදීම නැවතත් ප්‍රදේශවාසීන්ගේ යහපත වෙනුවෙන් ධාවනයට එක් කිරීමට කටයුතු කරන බවත්”ය.
ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල