Thursday, May 15, 2025
Home » ධනුෂ්කගේ ලිංගික අතවර නඩු විභාගය අදින් නිමා වන ලකුණු පෙර ආත්මය ගැන කාන්තාව කියන කතාවක් ධනුෂ්කගේ හඬ පටයෙන් හෙළි වෙයි

ධනුෂ්කගේ ලිංගික අතවර නඩු විභාගය අදින් නිමා වන ලකුණු පෙර ආත්මය ගැන කාන්තාව කියන කතාවක් ධනුෂ්කගේ හඬ පටයෙන් හෙළි වෙයි

-පොලිස් නිලධාරිනිය පැමිණිල්ල කුණු කූඩයට දැමුවේ ඇයි?

by sachintha
September 21, 2023 4:41 am 0 comment

ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධ නඩුව ඊයේ සිඩ්නි නුවර ඩව්නින් දිස්ත්‍රික් අධිකරණයේදී තුන්වැනි දිනයටත් විභාගයට ගත් බව එරට මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා පිල නැවත මව්බිමට පැමිණීමට ගුවන්තොටුපොළට යෑමට මොහොතකට පෙර නොවැම්බර් මස 6 වැනිදා අලුයම ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි හෝටලයේ ආලින්දයේදී අත්අඩංගුවට පත් ධනුෂ්ක එදිනම අලුයම 4.36ට පොලිස් නිලධාරීන් හමුවේ දුන් පැය දෙකහමාරක ප්‍රකාශයේ හඬපටය ඊයේ අධිකරණයේදී විනිසුරු සාරා හගේට් මහත්මිය ඉදිරියේ ප්‍රචාරය කළ බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ලිංගිකව එක්වීමෙන් පසු අදාළ කාන්තාව පෙර ආත්මයක් ගැන කතා කිරීමට පටන් ගත් බවත්, දෙදෙනා පෙර ආත්මයේදී අසල්වාසීන් ලෙස තායිලන්තයේ ජීවත්ව සිටි බවට ඇය ප්‍රකාශ කළ බව ද එම හඬපටයෙන් අනාවරණය වේ.

පසුගිය වසරේ නොවැම්බර් මස 2 වැනිදා සිඩ්නි නුවර ඔපෙරා බාර් අවන්හලේදී එම කාන්තාව මුණ ගැසීමෙන් පසු රාත්‍රී පීට්සා ආහාරයට ගෙන පසුව ඇගේ නිවෙසට ගිය බව ධනුෂ්ක පොලිසියට ප්‍රකාශ කළ අයුරු එම හඬ පටයේ සඳහන් වන අතර, අලුයම 3.00ට පෙර ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි හෝටලයට නැවත යා යුතුව ඇතැයි එම කාන්තාවට කියා සිටි බවද ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

නගරයේ බෝට්ටු සේවය ඔස්සේ ඇගේ නිවෙසට යෑමෙන් පසු දෙදෙනා එක්ව වයින් පානය කළ බවත්, අනතුරුව ඇයට ගීතයක් ගයන ලෙස තමා ඇරියුම් කළ බවත් ඔහු පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන් වේ. ගී ගයමින් ඇය ගිටාරය වැයීමට ද පටන් ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. දෙදෙනා ලිංගිකව එක්වීමෙන් පසු කතාබහ කරමින් කාලය ගත කළ බවත්, එහිදී තමාට යම්කිසි බලයක් ඇතැයි ඇය කියා සිටි බවත් ධනුෂ්කගේ පොලිස් ප්‍රකාශයෙන් හෙළිදරව් විය. තමාට අනාගතය දැකිය හැකි බව ඇය ප්‍රකාශ කිරීමෙන් පසු දෙදෙනා අතර ආගමික කරුණු සම්බන්ධව සංවාදයක් සිදු වූ බවත්, තමා බෞද්ධයකු බැවින් ඒ පිළිබඳ තමා තුළ උනන්දුවක් හටගත් බවත් ධනුෂ්කගේ ප්‍රකාශයේ සඳහන් වේ. පොලිසිය හමුවේ ප්‍රකාශය ලබා දීමේදී සිය මව ගැන සඳහන් කරමින් ධනුෂ්ක හඬා වැටී ඇතැයි ද අධිකරණයේදී ඊයේ අනාවරණය විය.

තමාට බලයක් ඇතැයි එම කාන්තාව පැවැසීම සිනහවට කරුණක් වුවද, තමාගේ පෙර ආත්මය ගැන යමක් පවසන ලෙස ඇගෙන් ඉල්ලා සිටි බවත් ධනුෂ්ක පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන් කර ඇති අතර, ඔවුන් දෙදෙනා අසල්වැසියන් ලෙස තායිලන්තයේ ජීවත්ව සිටි බව සිය දෑස් වසා ගනිමින් ඇය පැවසූ බවත් ඔහුගේ හඬපටයේ සඳහන් වේ.

“අපි දෙන්නා උපන්නේ තායිලන්තයේ බව ඇය කීවා. ඊට පස්සේ මට ටිකක් බය හිතුණා. මොකද ඇය අමුතුයි කියලා මට දැනුණා. ඒ නිසා මම කිව්වා මට ආපහු හෝටලයට යන්න ඕන, මොකද ක්‍රීඩකයන්ට පනවා ඇති අලුයම 3.00ට කලින් හෝටලයට පැමිණිය යුතු වීමේ කොන්දේසිය කඩන්න මට අවශ්‍ය නෑ කියලා” ධනුෂ්ක පොලිසියට දුන් ප්‍රකාශයේ එසේ සඳහන් වේ. අනතුරුව කුලී රථයක් ඇණවුම් කරන ලෙස ඔහු ඇයට ප්‍රකාශ කර තිබේ.

“අපි දෙන්නා ඊළඟ දවසේ ‘බොන්ඩි’ මුහුදු වෙරළේදී මුණ ගැහෙන්න කතා කර ගත්තා. ඊට පස්සේ මම ඇයට හාදුවක් දීලා ආපහු හෝටලයට ගියා.” ධනුෂ්කගේ ප්‍රකාශයේ එසේ සඳහන් වී තිබේ. කෙසේ වුවද අධිකරණයේදී ධනුෂ්කගේ නීතිඥ මුරුගන් තංගරාජ් ඇගෙන් හරස් ප්‍රශ්න ඇසීමේදී පෙර ආත්මයක් ගැන කී කතාව ඇය ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ.

ධනුෂ්කගේ බාල සොහොයුරියගෙන්, හිටපු පෙම්වතියකගෙන් සහ සමිපතම මිතුරකුගෙන් ද ඊයේ සාක්ෂි කැඳවා තිබූ අතර, එහිදී ඔවුන් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ ඔහු කිසි දිනෙක කාන්තාවන්ට හිරිහැර හෝ අගෞරව කරන පුද්ගලයකු නොවන බවය. ඔහු මෘදු හදවතක් ඇති ඉතා හොඳ පුද්ගලයකු බවත් ඔවුන් අධිකරණයට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ධනුෂ්කගේ හඬපටය ප්‍රචාරය කිරීමට පෙර අධිකරණයට වාර්තා වූ පරිදි අදාළ කාන්තාව තමාට සිදු වූ ලිංගික අතවරය මුලින්ම පැමිණිලි කර ඇත්තේ රෝස් බේ පොලිස් ස්ථානයේ කොස්තාපල්වරියක වන කත්රිනා ලැකඩිස්ට බව හෙළි වී තිබේ. පොලිස් කොස්තාපල්වරිය අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ පොලිස් සටහන් පොතක් ඒ මොහොතේ තමා සතුව නොතිබූ බැවින් ඇගේ පැමිණිල්ල කඩදාසි කිහිපයක සටහන් කරගත් බවය.

ධනුෂ්ක තමාට ලිංගික වධහිංසා සිදු කළ බව එම කාන්තාව පැවසූ බවත්, පසුව එම පැමිණිල්ල සටහන් කරගත් කඩදාසි කිහිපය ඡායාරූප ගත කර විමර්ශන නිලධාරියකුට යැවූ බවත් පොලිස් කොස්තාපල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය. එම පැමිණිල්ල සටහන් කරගැනීමට වඩා පටිගත කරගැනීම වැදගත් යැයි නොසිතන්නේ දැයි මෙහිදී ධනුෂ්කගේ නීතිඥවරයා පොලිස් කොස්තාපල්වරියගෙන් විමසා තිබේ.

ඔබ මේ සටහන් තැබුවේ කඩදාසි කැබලිවල නේදැයි සහ ඉන් පසුව ඔබ ඒවා කුණු කූඩයට දැමුවා නේදැයි නීතිඥවරයා ඇගෙන් විමසූ විට මහත් අපහසුතාවට පත්වූ කොස්තාපල්වරිය අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ එම සටහන් වීසි කිරීම නොකළ යුතුව තිබූ දෙයක් බව පිළිගෙන තිබේ.

“ඔබව ස්ථානගත කර ඇත්තේ ස්ථානීය රාජකාරි ඉටු කිරීමටයි. දුරකතනයට පිළිතුරු දීම වගේම බරපතළ පැමිණිලි ඇතුළුව මහජනතාවගේ පැමිණිලි සටහන් කරගැනීම ඊට ඇතුළත්” යැයි කියමින් මෙහිදී ධනුෂ්කගේ නීතිඥවරයා දිගින් දිගටම පොලිස් කොස්තාපල්වරිය අපහසුතාවට ලක් කර ඇතැයි ද වාර්තා වේ. නඩු විභාගය අදින් අවසන් කිරීම සාරා හගේට් විනිසුරුවරියගේ අපේක්ෂාව වී ඇතැයි ද එරට මාධ්‍ය සඳහන් කළේය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT