Sunday, May 11, 2025
Home » මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය සංඥා පද්ධතිය නවීකරණයට ඉන්දියාවෙන් කෝටි 490ක්

මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය සංඥා පද්ධතිය නවීකරණයට ඉන්දියාවෙන් කෝටි 490ක්

ව්‍යාපෘතිය නිම වූ පසු කොළඹ සිට කන්කසන්තුරයට ගමන් කාලය පැය 2කින් අඩු කෙරේ

by mahesh
September 22, 2023 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක
මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය සංඥා පද්ධතිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ­කො­ම­සා­රිස් ගෝපාල් බග්ලේ, මහා­මාර්ග රාජ්‍ය ඇමැති සිරි­පාල ගම්ලත්, නැඟෙන­හිර පළාත් ආණ්ඩු­කාර සෙන්දිල් තොණ්ඩ­මන්, ඉන්දීය කොම­සා­රිස් කාර්යා­ලයේ ප්‍රථම ලේකම් ඉරිනා තාකුර්, ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශයේ වැඩ­බ­ලන ලේකම් එල්. එච්. තිල­ක­රත්න, ඉර්කොන් සමා­ගමේ අධ්‍යක්ෂ මණ්ඩ­ලය නියෝ­ජ­නය කර­මින් පරාග් වර්මා, ආනන්ද් කුමාර් සිං ප්‍රමුඛ නියෝ­ජි­ත­යන්, අමා­ත්‍යාංශ නිල­ධා­රීන් ඇතුළු පිරි­සක් එක්ව සිටි­ අයුරු.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් කෝටි 490ක (අ.ඩො. මිලියන 15) වියදමින් මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ සංඥා සහ සන්නිවේදන පද්ධතිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් කිරීම ඊයේ (21) සිදු කෙරිණි.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම ව්‍යාපෘතිය මඟින් කොළඹ සිට කන්කසන්තුරය දක්වා පැයට කි.මී. 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීම හේතුවෙන් දුම්රිය ධාවනය සඳහා ගත වන කාලය පැය 2කින් පමණ අවම කිරීමට හැකි වන බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, මහමාර්ග රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ඉන්දීය කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් ඉරිනා තාකුර්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ වැඩබලන ලේකම් එල් එච් තිලකරත්න, ඉර්කොන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් පරාග් වර්මා, ආනන්ද් කුමාර් සිං මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා:

“ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා ශ්‍රී ලංකාවේ ඉතා කිට්ටු හිතවතෙක්‌. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ නතර වී තිබූ ව්‍යාපෘති රාශියක් ඉදිරියට ගෙන යෑමට ඔහු අනුපමේය දායකත්වයක් දුන්නා. මේ සියලු ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවා අවසන් කර තිබෙන්නේ මා අමාත්‍යාංශයේ වගකීම භාර ගැනීමට පෙරයි. ඊට කැබිනට් අනුමැති හිමි වී තිබෙන්නේ 2015 වසරේදීයි; ටෙන්ඩර් කැඳවීම සිදුව තිබෙන්නේ 2018/19 වසරවල. ඉන් අනතුරුව මේ ව්‍යාපෘතිය ඇරඹීම ප්‍රමාද කරමින් විවිධ බලවේග ක්‍රියාත්මක වුණා. කොවිඩ් වසංගතය සහ ආර්ථික බිඳවැටීම හේතුවෙන් තවදුරටත් අඩපණ වූ මේ ව්‍යාපෘතිය යළි ඇරඹීමට ඇමැතිවරයා ලෙස මමත් අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ඉන්දීය මහකොමසාරිස් තුමාගේ නිල නිවෙසට ගොස් ඔහු මුණගැසී සාකච්ඡාවක නිරත වුණා. ඒ අවස්ථාවේ නතර වී තිබුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කොන්දේසි විරහිතව ඔහුගේ පූර්ණ දායකත්වය දීමට ඒ මොහොතේම පොරොන්දු වුණා. ඒ අනුව ඔහු ඇතුළු නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු ඇරඹුවා. එයින් අනුරාධපුර ඕමන්ත කොටසේ වැඩ මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන්. එළඹෙන ජනවාරියේදී අනුරාධපුර මහව දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතුත් ඇරඹීමට පියවර ගන්නවා. ඒ අතරම අමෙරිකානු ඩොලර් මිලියන15ක් වටිනා ඉතා දියුණු තත්ත්වයේ සංඥා සහ සන්නිවේදන පද්ධතියක් වෙනුවෙන් දී තිබූ ටෙන්ඩරය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම මේ මොහොතේ සිදු වනවා. ඒ අනුව එළඹෙන වසරේ ජූලි වන විට කොළඹ සිට කන්කසන්තුරේ දක්වා පැයට කි.මී. 100ක වේගයෙන් ධාවනය කළ හැකි දියුණු දුම්රිය මාර්ගයක් නිම කර එහි සම්පූර්ණ ගමන් කාලය පැය 2කින් පමණ අවම කිරීමට හැකි වනු ඇතැයිද එමඟින් ඉතා කාර්යක්ෂම දුම්රිය සේවයක් ජනතාවට දීමේ ශක්තිය ලැබෙනු ඇතැයිද මා විශ්වාස කරනවා. මීට සහයෝගය දුන් ඉන්දීය රජයට, අගමැතිතුමාට හා ඉන්දීය මහකොමසාරිස්තුමාට ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ස්තුතිය සහ ගෞරවය පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නවා. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල අඩුපාඩුවක්ව පවතින දුම්රිය එංජින් 20ක් පමණ පිරිනැමීමට කටයුතු කරන ලෙස ඉන්දීය මහකොමසාරිස්තුමාගෙන් මා ඉල්ලීමක්‌ කළා. ඒ අනුව දුම්රිය එංජින් 23ක් පමණ ශ්‍රී ලංකාවට දීමට කරුණු සලකා බලමින් පවතින බව මහකොමසාරිස්තුමා දන්වා තිබෙනවා. මේ සියලු සබඳතා සමඟ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු වනු ඇති බව මා විශ්වාස කරනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT