Home » පිලිප් – කුසුමා ගුණවර්ධන යුවල ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයට දැමූ අඩිතාලම ඉතාම ශක්තිමත්

පිලිප් – කුසුමා ගුණවර්ධන යුවල ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයට දැමූ අඩිතාලම ඉතාම ශක්තිමත්

by chanaka
September 22, 2023 4:34 pm 0 comment

ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ 73 වන සංවත්සර සැමරුම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) අරලියගහ මන්දිරයේදී පැවැත්විණී.

අතීතයේ පටන් පැවැති චීන ශ්‍රී ලංකා සබඳතා ඉදිරියට ගෙනයාමට වාමාංශික ව්‍යාපාරය වෙනුවෙන් පෙරමුණ ගත් පිලිප් – කුසුමා ගුණවර්ධන යුවල 1940 දශකයේ දී ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය සඳහා දැමූ අඩිතාලම ඉතාම ශක්තිමත් බව චීන තානාපති කී සෙන්හොන් (Qi Zhenhong) මහතා මෙහිදී සඳහන් කළේය.

එවකට ‟සිලෝන් චීන මිත්‍ර සංසදය″ නමින් හැඳින්වූ ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ මුල්ම සභාපතිනිය කුසුමා ගුණවර්ධන මැතිනියයි. ඒ පිළිබඳව චීනය කෘතඥ වන අතරම චීනයට කවදත් හිතැති දැනට අග්‍රාමාත්‍ය ධුරය දරන දිනේෂ් ගුණවර්ධන මහතා දැයට දායාද කිරීම සම්බන්ධයෙන් ද කුසුමා ගුණවර්ධන මැතිනියට කෘතඥ විය යුතු බව චීන තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ ඉතිහාසය සැකෙවින් විස්තර කළ වත්මන් සභාපති ආනන්ද ගුණතිලක මහතා සඳහන් කළේ, එදා කුඩා පිරිසකගේ සහභාගිත්වයෙන් සාමාජිකයකුගේ නිවසේ බිහිවූ මෙම සංගමය 1955 දී දෙරට අතර තානාපති සබඳතා ඇති වීමෙන් පසු තවදුරටත් ශක්තිමත් වු බවයි.

සංගමය ආරම්භ කරන අවස්ථාවේදී යටත් විජිතවාදී පාලකයින් විසින් පිලිප් ගුණවර්ධන මැතිතුමාට පාර්ලිමේන්තුව අහිමි කර තිබූ බැවින් එතුමා නියෝජනය කරමින් අවිස්සාවේල්ල ආසනයට නිතරඟයෙන් පත්වූ කුසුමා ගුණවර්ධන මැතිනිය එම තනතුර භාර ගෙන මෙම සංගමය වාමාංශික දේශපාලනය ක්‍රියාත්මක ආයතනයක් බවට පත් කළ බවත් සංගමයේ ආරම්භක සාමාජිකයින් වූ තේජා ගුණවර්ධන මැතිනිය, කොමියුනිස්ට් පක්ෂයේ එවකට නායක සුගීශ්වර ඒ. වික්‍රමසිංහ මහතා, පීටර් කෙනමන් වැනි දැවැන්තයන් ද සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, රාජිකා වික්‍රමසිංහ, හිටපු නියෝජ්‍ය කතානායක ගීතාංජන ගුණවර්ධන , අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, චීන තානාපති කාර්යාලයේ ජේෂ්ඨ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT