“නිපා” වෛරසයෙන් මෙරටට බලපෑමක් නොමැති බවත් ඉන් අනියත බියක් ඇති නොකර ගත යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
“නිපා” වෛරසය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සඳහා ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
මේ දිනවල දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ අගෝස්තු මස අග සිට “නිපා” වෛරස ආසාදනයක් ලෙස පැතිරෙමින් යන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
මෙය නව වෛරසයක් නොවන අතර මෙරටින් මෙම වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වී නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය පිළිබඳව කොවිඩ් වසංගතයට මෙන් බිය විය යුතු නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
ඔහු පැවසුවේ මෙම වෛරසය හේතුවෙන් රට ලොක්ඩවුන් කිරීමට, වෙළඳ සැල්, ගුවන් මඟීන් පරික්ෂා කිරීම වැනි ක්‍රියාවන් සිදු කිරිමට කිසිදු අදහසක් නොමැති බවයි.
මේ අතර නිපා වෛරසය පිළිබඳව වසංගත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මෙසේ අදහස් පළ කර තිබුණි.
“මෙම වෛරස අසාදනය අලුත් වෛරස් ආසාදනයක් නොවෙයි. මුලින්ම 1998 මැලේසියාවෙන් ලොකුම වසංගත තත්ත්වය වාර්තා වනවා. එය රෝගීන් 300 කට පමණ සීමා වෙනවා. පසුව සිංගප්පූරුවෙන් රෝගීන් 11 ක් පමණ වාර්තා වෙනවා. මේ රෝගය කාලීනව අවශ්‍ය පියවර ගැනීම තුළින් වෛරසය හටගත් රටේම පැතිරීම පාලනය කර තිබෙනවා. වෙන රටවලට පැතිරීමක් සිදුව නැහැ. 2001/2018 වසරවල වරින්වර බංග්ලාදේශයෙන් සුළු රෝගීන් සංඛ්‍යාවක් විවිධ ස්ථානවලින් අවස්ථා කිහිපයක දී වාර්තා වුණා. 2001 / 2007 බටහිර බෙංගාලයෙනුත් රෝගීන් වාර්තා වෙලා තිබෙනවා. හැම අවස්ථාවකම එම රටවල් තුළ වෛරසය පැතිරෙන්නේ නැතිව සාර්ථකව පාලනය කර තිබෙනවා.”
“වර්තමාන තත්ත්වය තුළ ඉන්දියාවේ කේරළයෙන් දැනට රෝගීන් 06 ක් වාර්තා වී තිබෙනවා. මරණ 02 ක් සිදු වෙලා තිබෙනවා. ආරක්ෂිත පියවරක් ලෙස එම ප්‍රදේශයේ යම් යම් සීමාවන් පනවා තිබෙනවා. ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නියැදි පරීක්ෂණ සදහා ලක් කර තිබෙනවා ඔවුන් තාම ආසාදිතයින් වී නැහැ. වෙනත් ප්‍රදේශවලට පැතිරීම පාලනය සදහා ආරක්ෂිත වැඩපිළිවෙලක්. ලොක්ඩවුන් තත්ත්වයක් ඇතිවෙලා නැහැ. අනියත බියක් සාමාජ ජාලවල ඇතිකර තිබෙනවා. දැනට තිබෙන තත්ත්වය අනුව එවැනි තත්ත්වයක් ඇතිවෙයි කියලා නියැදි නැහැ.”
“මෙහි වාහකයා වවුල් ප්‍රභේදයක්. වවුලන්ගේ මල මුත්‍රා හරහා ආසාදිත වෛරස තැවැරීමෙන් පැතිරීම සිදුවෙනවා. සතුන් පලතුරු වැනි දෑ අනුභව කිරීමෙන් මහජනතාවට මෙම වෛරසය ව්‍යාප්ත වන බව දැනට සොයාගෙන තිබෙනවා. ආසාදිත පුද්ගලයෙකුගෙනුත් එය පැතිරීම සිදු වන්නේ ඉතාමත් ළඟින් ඇසුරු කරන අයෙකුට පමණයි. ඒ කෙළ බිඳිති මගින්. මෙය වාතය හරහා බෝවෙන වෛරසයක් නොවෙයි. පැතිරීම අඩුවේගයකින් සිදු වෙන්නේ. රෝගය වැළඳී ඉතා කෙටි කාලයක් තුළ සුව විය හැකියි. රෝග ලක්ෂණ මතු නොවන පිරිසකුත් සිටිනවා. ශ්වසන අපහසුතා මතු විය හැකියි හැකියි. මූලිකවම මොළයේ ආසාදන තත්ත්වයක් තමයි ඇතිවෙන්නේ. ඉතා කෙටි කාලයක් තුළ එම පුද්ගලයාගේ රෝගී තත්ත්වය උඝ්‍ර තත්ත්වයට හැරෙනවා. පැතිරීමට ඇති ඉඩකඩ එ් තුළින්ද සීමා වෙලා තිබෙනවා. වෙනත් රටකින් තවත් රටකට යාමට ආසාදිතයාට කාලයක් නැහැ.”
සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබදව ඉතාමත් අවධානයෙන් පසු වන අතර තවම රටේ මෙම වෛරසය හේතුවෙන් අවදානම් සහගත තත්වයක් මතුව නැති බව ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර මෙම වෛරසය ආසාදනය වීමෙන් වැළකීමට අවශ්‍ය පියවර පිළිබඳව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරසවේදී අංශයේ විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය මෙහිදී දැනුම් දුන්නේය.
“පලතුරු හොඳට සෝදා ආහාරයට ගන්න ඕනෑ. දැනට ලංකාවේ රෝගීන් වාර්තා නොවන නිසා බිය විය යුතු නැහැ. ලෙඩ ඌරන් සහ වවුලන් ගැවසෙන ප්‍රදේශ වලට යාමෙන් වලකින්න ඕනෑ. මේක බෝ වෙන්නේ විශේෂ වවුල් විශේෂයකින්. ෆෘට් බැට් කියාලා තමයි ඒ වවුල් විශේෂයට කියන්නේ. ලංකාවේ ඉන්න වවුලන් ෆෘට් බැට්ලද කියලා අපි තාම අනුමාන කරලා නෑ. ඒක නිසා අපිට ඒක ගැන ලොකු බියක් ඇති කරගන්න අවශ්‍ය නෑ. අපි මුලින්ම කරන්න ඕනෑ මේක රටට ඒම වළක්වා ගැනීම. පොඩි දරුවන්ට පලතුරු දෙනවිට හොදට සෝදා දෙන්නත් පළුදු වු පලතුරු දරුවන්ට දීමෙන් වළකින ලෙසත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.”