‘අලට කන්න බැරි අලගල්ලේ කන්ද’ කියා කවි පදයක් තිබේ. අලගල්ලේ කන්ද, කොළඹ – මහනුවර දුම්රිය මාර්ගයේ එක් තැනකි. යටිවල්දෙණිය දුම්රිය ස්ථානය පසු කළ කල්හි, අලගල්ල කන්ද පාමුලෙන් අංක 05 දරන බිම්ගෙය මැදින් දුම්රිය ගමන් කරන්නේය. ගම්මු මේ ස්ථානය හේනෙපොල බිංගෙය කියාත්, සමහරුන් කදුරාගෙඩිය බිම්ගෙය කියාත් හඳුන්වති.
මේ බිම්ගෙය මුලදී තිබුණේ නැත. සුද්දෝ උඩරට දුම්රිය මාර්ගය ඉදි කළේ, මිනිස්සුන්ට යන්න එන්නට නොවේ. භාණ්ඩ ප්‍රවාහනය සඳහා වැඩි බරක් තබාය. ඒ කාලයේ දුම්රිය කළේ අද කාලයේ කන්ටේනර් කරන කාර්යය. වරායෙන් බාන හාල්, සීනි, පිටි ආදී දෑ දුම්රියෙන් උඩරට බලා ගිය ඒ කාලයේ, අලගල්ල හරියේදී, වංගුවක් ගන්න ගොස් කෝච්චිය පහළ බලා ගියේය.
ඔය වැනි අනතුරු ජාතික මට්ටමෙන් අපදා වන කල්හි, පහළ මට්ටමට ‘සෝමාලියාවට පාන් දැම්මා වගේ’ ද වන්නේය. හාල් පටවා ගත් කෝච්චියක් පෙරළුණු හෙයින් පහළ ගම්මාන හතකට ‘මාර චූන් එකක්’ගෙන ආවේය. අර හාල් තොගය කන්දෙන් පහළට පෙරළී, පස් ද යම් තරමකට කලවම් විය. ගම්මු මේ චාන්ස් එක අත නෑර හාල් තොගය ගෙදරට ගාල් කළේය. අවසාන තොගයේ ගල් බොරළු එමට වුවද ඒ ශේෂය ද අත හැරියේ නැත. ගමේ ආච්චිලා හාල් ටික එකතු කරගෙන එති. පොඩි එවුන් ලවා ඒවා ගරවති. මේ තාලයට මාසයක් දෙකක් වැඩේ ගියේය. පොඩි එවුන්ට සෙල්ලම් කරන්නට හෝ ආච්චිලා කාලයක් දෙන්නේ නැත. දිගටම හාල් ගරන්නට කියති. ‘ආච්චිට හාල් ගරනවා’ යන්න, ජනවහරට එකතු වුණේ ඒ අනුවය.
දැන් නම් රටම කරන්නේ ආච්චිට හාල් ගරන එකය. පාස්කු ප්‍රහාරය එල්ල විය. පුද්ගලයෝ 250කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබූහ. ඒ වේදනාව වනාහි, අප සියලු දෙනාගේම හදවතේ ගැඹුරු තැන තැන්පත් වූවකි. ඒ මත්තේ යමින් අහක යන දේශපාලන න්‍යාය පත්‍ර මේ රටේ ‘රන්’ වන්නේය. ඊයේ සහ අද ඒ ගැන පාර්ලිමේන්තුවේ දෙදින විවාදයකි. පත් කළ කොමිසම්, තේරීම් කාරක සභා ඉවරයක් නැත. දැන් ජාත්‍යන්තර කමිටුවක් ද පත් කිරීමට යන්නේය. මේ ප්‍රශ්නය ඉවර වනු ඇත්තේ ‘අහවලාගේ’ හිතේ ඇති තීන්දුව ලැබුණු දවසටය. එතෙක් මේ සංසාරය පුරාම කොමිසම් දැමූව ද වැඩේ අහවර වන්නේ නැත. සහරාන්ට ද දැන් හොඳටම තද වී ඇත්තේය. එ්කා මරාගෙන මළේ, ස්වර්ගයට ගොස් කන්‍යාවන් හැත්තෑ දෙකක් සමඟ යහන්ගතව සැපට ඉන්නය. ශුද්ධ වූ අරමුණක් ලෙස ඒකා කියවූ පොතක එය තිබෙන්නට ඇත. දැන් ඒ ශුද්ධය ඉවරය. ඌ බෝම්බ බැඳගෙන මිය ගොස් ඇත්තේ ගෝඨාභය බලයට ගෙන ඒමට බව, මෙහෙ ‘බඩු ටික’ කියනා බැවින් ‘ඩේ ඔෆ් ද ජජ්මන්ට්’දෙන උන්නාන්සේ ද අවුලකට පත්ව සිටිනවා ඇත. කතාවේ ඇත්ත නැත්ත එනකං, සහරාන් සහ පිරිවරගේ ‘සැපය’ ද, පෙන්ඩින්ය. දැන් ඒකාට එලොවත් නැත. මෙහෙ කරපු දේ සඳහා තමන්ගේ පැත්තෙන් එන ගෞරවය ද නැත. මේ විදිහට ‘ආච්චිට හාල් ගරන්නට’ ගියෝතින්, අර පොඩි එවුන්ට මෙන් නොව අපේ පරම්පරා ගණනකට ‘මහ මොළකාරයා’ සොය සොයා ඉන්නට වෙනවා ඇත.
පාස්කු ප්‍රහාරය ගැන මන්ත්‍රීලා දැනුවත් කිරීම සඳහා ඇමැති ටිරාන් අලස් දැන් දවස් තුනකට පෙර රැස්වීමක් කැඳවා දැනුවත් කර තිබුණි. මේ සඳහා අදාළ පරීක්ෂණ භාර පොලිස් ප්‍රධානින් සියලු දෙනා පාහේ පැමිණ සිටියහ. වෙනත් කටයුත්තක් සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ද එදින පාර්ලිමේන්තුවට ගොස් සිටියේය. නිලන්ත පාර්ලිමේන්තුවට පැමිණ සිටි බව, කාගෙන් හෝ ලක්ෂ්මන් කිරිඇල්ල හට දැන ගන්නට ලැබුණි. ලේ කිරට හැරවෙන්නේ සෙනෙහසටය. වෛරය මතු වූ කල්හි කිරි ලෙයට හැරවෙනවා ඇත. කිරිඇල්ලට හොඳටම තදවී ලේ රත් වී, වෙන වැඩකට ආ, නිලන්ත ජයවර්ධන ද පාස්කු වැඩේටම ඔබා දැම්මේය.
මේ හැම වැඩක්ම එසේය. සහාරාන් මරාගෙන මළේය. ඒමත්තේ මෙහෙ එවුන් අහල පහල හැම එකාවම මරාගෙන කන්නට යන්නේය. ජනාධිපති මෛත්‍රීපාලට මේ ප්‍රහාරයේ වගකීමේ කොටසක් හිමිය. ඒ ජාතික ආරක්ෂාව පැත්තෙන් වළක්වා නොගැනීමටය. ඒ මිස, ඔහු මේ බෝම්බයේ මහ මොළකරුවා හෝ සැලසුම්කරුවා නොවේය. ගෝඨාභය ඒ කාලයේ සිටියේ, නඩු සහ පරීක්ෂණ සඳහා උදේ හවා ආයතන ගානේ බඩගාන ගමන්ය. දැන් බෝම්බය ගසා ඇත්තේ ගෝඨාභයගේ සැලසුමකට අනුවය.
සලේ කියන්නේ ශ්‍රී ලංකා බුද්ධි අංශයේ අනගි සම්පතකි. නම් කියා, මුහුණු ප්‍රසිද්ධ කර මේ ජාතියේ නිලධාරියෙක් කිසිම රටක් පාවා දෙන්නේ නැත. ඔටුනු අපේක්ෂා නොකරන මෙවන් වීරයෝ ජාතියේ මහා සම්පතය. අද මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කියන්නේ විත්ති කූඩුවට නංවා, එල්ලුම් ගස් යැවීමට ඔන්න මෙන්න ඇති නිලධාරියෙකි. මේ පිරිමහන්නේ වෙන වෛරයකි. මහ මොළකරු ඉල්ලා හඬා වැලපෙන ගැන්සිය, එදා සිටියේ එල්ටීටීඊයේ හුරතල් පූස් කල්ලිය ලෙසය. රායප්පු ජෝශප් සමඟ, කොටි බැලීමට මේ කල්ලිය නිතර ගියහ. ඊළාම් සභාවක් පිහිටුවීමට පවා පය පෙරට තබා සිටියහ. ඒ සියල්ල වැළකී ගියේ, සලේවන් රණවිරුවෝ නිසාය. කෝච්චිය පෙරළුණු කල්හි, හාල් ගන්නා සේ, මේ කරදරය මැද්දේ ඒ අය ‘ආච්චිට හාල් ගරන්නට හදන්නාහ.
ඕවාට ජාතියක් ලෙසම අප කිව යුත්තේ ‘ආච්චිට හාල් ගරපන්’ කියාය.