Sunday, May 11, 2025
Home » වෙනිසියුලාවේ අපරාධ කල්ලි මූලස්ථානය වූ ටොකොරෝන් සිරගෙය හමුදාවෙන් වටලයි

වෙනිසියුලාවේ අපරාධ කල්ලි මූලස්ථානය වූ ටොකොරෝන් සිරගෙය හමුදාවෙන් වටලයි

රැඳවියන්ට රජ සැප දෙන්න සතියකට ඩොලර් 8ක් අය කරලා

by mahesh
September 22, 2023 1:00 am 0 comment

ෆවුස් මොහොමඩ්

– පිහිනුම් තටාක, රාත්‍රී සමාජශාලා කැසිනෝ, ගණිකා නිවාස
– අපරාධ කල්ලි නායකයාට බන්ධනාගාරයේ දෙමහල් නිවෙසක්
– සත්වෝද්‍යානයක් සහ බේස්බෝල් පිටියකුත්

වසර ගණනාවක් පුරා වෙනිසියුලාවේ විශාලතම හා දරුණුතම අපරාධ කල්ලියක රජදහනක් බවට පත්වී තිබූ එරට උතුරුමැද පළාතේ පිහිටි කූප්‍රකට ටොකොරෝන් බන්ධනාගාරය පෙරේදා 11,000කට අධික වෙනිසියුලා යුද හමුදා කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ දැවැන්ත මෙහෙයුමකින් පසුව අත්පත් කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ට්‍රෙන් ඩි අරැගුවා නමැති මේ අපරාධ කල්ලියේ ප්‍රධානියා වන 40 හැවිරිදි හෙක්ටර් ගුරේරෝ වසර 17ක සිර දඬුවම් විඳිමින් සිටින එම බන්ධනාගාරය වැටලීමට එරට රජය පියවර ගෙන ඇත්තේ වෙනිසියුලාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන රෝනා රිස්කෝස් විසින් පසුගියදා ඒ.එෆ්.පී. පුවත් සේවයට තොරතුරු රැසක් හෙළි කරනු ලැබීමෙන් පසුවය.

ටොකොරෝන් බන්ධනාගාරය මුළුමනින්ම ට්‍රෙන් ඩි අරැගුවා අපරාධ කල්ලියේ පාලනයට නතුව එහි මූලස්ථානය බවට පත් වී තිබූ අතර, හෙක්ටර් ගුරේරෝ එහි දෙමහල් නිවසක් ඉදිකර එහි සිරගතව සිටි සෙසු අපරාධකරුවන් හා වෙනත් රැඳවියන් අතර රජකු ලෙස වැජඹුණු බවද හෙළි වී තිබේ. අපරාධකරුවන්ට හා වෙනත් රැඳවියන්ට අතිසුඛෝපභෝගී ජීවන රටාවක් ගෙවීමට එහි සියලු පහසුකම් තිබූ බවත්, පිහිනුම් තටාකයක්, රාත්‍රී සමාජශාලාවක්, කුඩා ප්‍රමාණයේ සත්වෝද්‍යානයක්, බේස්බෝල ක්‍රීඩාංගණයක්, ඩිස්කෝ අවන්හල්, කැසිනෝ ශාලා, මත්ද්‍රව්‍ය හා ගනිකාවන් ඇතුළු සියලු පහසුකම් සපිරි කුඩා නගරයක් ලෙස පැවැති ටොකොරෝන් බන්ධනාගාරය වැටලීමේදී සිරකරුවන් රැසක් පලා ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පලා ගිය සිරකරුවන් අතර එරට වඩාත්ම භයානක අපරාධකරු හෙක්ටර් ගුරේරෝ ද සිටින බවට එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළද, වෙනිසියුලානු රජය පලා ගිය සිරකරුවන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් මුදා හැර නැත. හෙක්ටර් ගුරේරෝ අවස්ථා ගණනාවකදීම සිරෙන් පලා ගිය අපරාධකරුවකු බව කියැවේ. මේ වන විට එම බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම රජයේ පාලනයට ගෙන ඇතැයි වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතු ඇමැති රෙමිගියෝ සෙබොලොස් ප්‍රකාශ කර ඇති අතර, රජයේ ඊළඟ මෙහෙයුම පලා ගිය සිරකරුවන් අත්අඩංගුවට ගැනීම බව ද සඳහන් කර තිබේ.

ටොකොරෝන් බන්ධනාගාරයේ සිරගතවී සිටි අපරාධකරුවන් සිය සහකාරියන් ද එතුළට ගෙන්වා ගෙන පදිංචි කරගෙන සිටි බව ද වාර්තා වේ.

ට්‍රෙන් ඩි අරැගුවා අපරාධ කල්ලිය විසින් සිය පාලනයේ තිබූ ටොකොරෝන් බන්ධන­ාගාරයේ රැඳවියන්ගේ පවුලේ සාමාජිකයන්ට නිතර නිතර යෑමට පහසුකම් ද සලසා දී ඇති අතර, තුරඟ තරගවලට ඔට්ටු තැබීම, මුදල් ණයට ගැනීම සඳහා බැංකුවක් ඇතුළු පහසුකම් ද එහි තිබූ බව වාර්තා වේ. වෙනත් සිරකරුවන්ට එහි රැඳී සිටීම වෙනුවෙන් සතියකට අමෙරිකානු ඩොලර් 8ක මුදලක් ට්‍රෙන් ඩි අරැගුවා අපරාධ කල්ලියේ නායකයාට ගෙවීමට සිදුවී තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙනිසියුලාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ආහාරපාන ආදිය අපනයනය කිරීම රජයට දැඩි අභියෝගයක් වෙද්දී ටොකොරෝන් බන්ධනාගාරයේ ඒ සියලු පහසුකම් තිබූ බවත්, එරට කිසිදු ස්ථානයකින් සොයා ගත නොහැකි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට එම ප්‍රාන්තයේ ජනතාව පවා ටොකොරෝන් බන්ධනාගාරයට යෑමට පුරුදු වී සිටි බවත් වෙනිසියුලාවේ මාධ්‍ය සඳහන් කළේය.

මෙහෙයුම අතරතුර හමුදා සෙබළුන් ටොකොරෝන් බන්ධනාගාරයෙන් සුපිරි යතුරුපැදි, රූපවාහිනි සහ මයික්‍රෝවේව් උදුන්, ශීතකරණ හා වායුසමීකරණ යන්ත්‍ර ආදිය පිටතට රැගෙන ආ බව ඇසින් දුටු සාක්ෂි මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. බන්ධනාගාරය මුළුමනින්ම මුදා ගැනීමෙන් පසු එතුළ තිබූ අවිආයුධ හා පතරොම් සහ මුදල් විශාල ප්‍රමාණයක් හමුදාව භාරයට ගෙන තිබේ.

ලතින් අමෙරිකාව පුරා අනවසර සංක්‍රමණියන් රට පැටවීම, මත්ද්‍රව්‍ය හා ගණිකා වෘත්තිය, පැහැරගැනීම්, කප්පම් ගැනීම් හා මංකොල්ලකෑම් ප්‍රධානතම ව්‍යාපාර බවට පත් කරගත් ට්‍රෙන් ඩි ඇරැගුවා අපරාධ කල්ලිය එමගින් ඩොලර් මිලියන ගණන් උපයා ඇතැයි ද වාර්තා වේ. එරට මාධ්‍ය සඳහන් කරන්නේ ට්‍රෙන් ඩි අරැගුවා අපරාධ කල්ලියේ සාමාජිකයන් පන්දහසකට වඩා සිටින බවය.

රජයේ හමුදාව විසින් සිදුකළ සාර්ථක මෙහෙයුම ඇගැයීමට ලක් කරමින් වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ නිවේදනයක් ද නිකුත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT