යතුරුපැදි සොරකම් කරගෙන ගොස් ඒවායේ කොටස් ගලවා, පාට වෙනස් කර අංක තහඩුවල අංක සහ චැසි අංක වෙනස්කර විකිණීමේ ජාවාරමක් කරගෙන ගිය තිදෙනෙකු එසේ සොරකම් කරන ලද පාට හා අංක වෙනස්කර විකිණීමට සූදානම් කරතිබූ යතුරුපැදි හතරක් සමඟ මාදම්පෙ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම ජාවාරම සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති සැකකරුවන් මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
මාදම්පෙ ප්‍රදේශයේ පැවැත්වූන සංගීත සංදර්ශනයක් අවස්ථාවේ ඒ අසල නවත්වා තිබූ යතුරුපැදියක් සොරකම් කරගෙන ගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මාදම්පෙ පොලිසියේ නිලධාරීන්ට මෙම ජාවාරමේ සුලමුල හා සැකකරුවන්ද සමඟ එසේ සොරකම් කරන ලද යතුරුපැදිද මෙසේ සොයාගැනීමට පොලිසියට හැකිවී ඇත.
මාදම්පෙ පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර අබේරත්න මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් මෙම යතුරුපැදි සොරකමට හා ජාවාරමට සම්බන්ධ සැකකරුවන් හා යතුරුපැදිද මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, එම යතුරුපැදි ද සමඟ සැකකාර ජාවාරමුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.