Thursday, May 15, 2025
Home » දරුවකු බිලිගත් එක්ස්කැවේටර් යන්ත්‍ර රියැදුරුට වලංගු බලපතක්වත් නෑ

දරුවකු බිලිගත් එක්ස්කැවේටර් යන්ත්‍ර රියැදුරුට වලංගු බලපතක්වත් නෑ

by mahesh
September 22, 2023 1:05 am 0 comment

මතුගම සමූහ - බී. ටී. තඹවිට, මීගහතැන්න - එස්. පොද්දෙණිය
අන­තුර සිදු­කළ එක්ස්කැ­වේ­ටර් යන්ත්‍රය

සැහැල්ලු වාහන පැදවීමේ බලපත්‍රයකින් බර වාහන පන්තියේ එක්ස්කැවේටර් යන්ත්‍රයක් පැදවූ රියැදුරෙකුගේ අපරික්ෂාකාරී රිය පැදවීම නිසා 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 14 වියැති පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව මතුගම පොලිසිය පවසයි.

පස්දුන්කෝරළයම ශෝකයට පත්කරමින් මෙසේ මියගොස් ඇත්තේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි, මතුගම, නෑබඩ පාරේ පදිංචිව සිටි රිවිනු සෙනුමිත විජේසුන්දර නම් 14 හැවිරිදි සිසුවාය.

රිවිනු සෙනුමිත විජේසුන්දර පුතණුවන්ගේ පියා වන සජීව විජේසුන්දර මහතා මෙසේ පැවසීය.

මම පුතාව උදේ පාසලට ඇරලවා පැමිණ නැවත දවල් පාසල ඇරෙන වෙලාවට එක්කරගෙන එන්න ගියා. එතකොට පුතා මගේ ළඟට ඇවිත් තාත්තේ අද චෙස් පුහුණුවීම් තියෙනවා, මම ඒකට ඉඳලා එන්නම් කියල මගෙන් රුපියල් 100කුත් ඉල්ලා ගත්තා. මම පුතාලව තනියම ඉස්කෝලේ යවන්නේ නැහැ. පාරවල්වල වාහන වැඩි නිසාත්, රියැදුරන්ගේ අනාරක්‍ෂිත රිය පැදවීම නිසාත් කොයිතරම් වැඩ තිබුණත් මම ම දරුවන්ව පාසලට ගේන්න, ගෙනියන්න එනවා. මේ පුතා හරිම කීකරු දරුවෙක්. එයාට අපි වගේම පාසලේ ගුරුවරු සහ ළමයි හරිම ආදරෙයි.

එදා සවස මට දුරකතන ඇමතුමක් ලැබුණා පුතා අනතුරකට ලක්වෙලා කියලා. මම පාසල ළඟට යනකොටත් එතැන හිටපු අය පුතාව වෑත්තෑව රෝහලට ගෙනිහින් තිබුණා. ඉස්කෝලේ චෙස් පන්තිය අවසන් වෙලා පුතා පාරට ඇවිත් ඉදිරියට දකුණු පැත්තෙ පාර අයිනෙන් ගමන් කරලා තියෙනවා. පුතාගේ පිටුපසින් ජල ව්‍යාපෘතියේ වැඩ කරන ඉදිකිරීම් සමාගමේ එක්ස්කැවේටර් යන්ත්‍රයක් පැමිණ පාසල ඉදිරිපිට පාරේ තිබෙන වාහන වේගය අඩු කරන ගැට්ට මඟහැරීමට එහි රියැදුරා වාහනය දකුණු පැත්තට කපා තිබෙනවා. එවිටම පාරේ දකුණු පැත්තේ අයිනෙන් ගිය අපේ පුතාව ඒ යන්ත්‍රයේ හැපී වැටී ඒ වාහනයටම යටවී තිබෙනවා. මම රෝහලට යනකොටත් අපේ පුතා අපිව දාලා ගිහින්.

මෙම හදිසි මරණය පිළිබඳව මරණ පරීක්ෂණය මතුගම හදිසි මරණ පරීක්‍ෂක ගාමිණී ලියනගේ මහතා විසින් 20 වන දින රාත්‍රියේ පැවැත්වූ අතර, දේහය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් සපයන ලෙස නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත දැන්වීය. සිසුවාගේ දේහය නාගොඩ රෝහල වෙත යැවීමට නියෝග කර ඇත.

එක්ස්කැවේටර් යන්ත්‍රයේ රියැදුරා වන නැදුරන, ඇරෑපොළ, ඇහැලියගොඩ ලිපිනයේ පදිංචි බටදුව ආරච්චිලාගේ ප්‍රභාත් ඉන්දික (32) යන අය පොලිසියට මෙසේ පවසා ඇත.

මා මතුගම ජල සැපයුම් ව්‍යාපෘතියේ කටයුතු කරන ඉදිකිරීම් සමාගමේ බ්‍රේකරය සහිත එක්ස්කැවේටර් යන්ත්‍රයේ රියැදුරා ලෙස කටයුතු කරනවා. 20 වන දින මතුගම ජල ටැංකිය ඉදිකරන ස්ථානයේ වැඩ නිම කර නැවත ඉදිකිරීම් ආයතනය වෙත ගමන් කරමින් සිටියදී මතුගම ආනන්ද ශාස්ත්‍රාලීය පාසල ඉදිරිපිටදී පාරේ උස් ගැට්ටක් තිබෙන තැනින් එම ගැට්ට මඟ හැරීම සඳහා වාහනය දකුණු පැත්තට කැපුවා.

එවිට පාරේ දකුණු පැත්තෙන් ළමයෙක් ගමන් කරනවා මම දැක්කේ නැහැ. මේ වාහනය වමෙන් පදවන වාහනයක් නිසා දකුණු පැත්ත ළඟ පේනවා අඩුයි. ඒ පැත්තේ පාරේ ගමන් කළ ළමයෙක්ව වාහනයේ හැපී තිබෙනවා. එතන පාරේ සිටි අය කෑ ගහන කොට මම වාහනය නතර කර බැලුවා. එවිට වාහනයේ ගැටී ඉදිරියට විසිවුණු ළමයා වාහනයේ ඉදිරි දකුණු පස රෝද දෙකට යට වී තිබුණා. පසුව එතන සිටි අය ළමයාව රෝහලට ගෙන ගියා. පසුව එම පාසල් සිසුවා මියගොස් ඇති බව දැනගන්නට ලැබුණා.

මතුගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන අතර, මෙම එක්ස්කැවේටර් යන්ත්‍රයේ රියැදුරාගේ නොසැලකිල්ල මත මෙම අනතුර සිදුවී ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බවත්, මෙම රියැදුරාට ඔහු පැදවූ බර වාහනය පැදවීමට අනුමත රියැදුරු බලපත්‍රයක් නොමැති බවත් ඔහු සතුව ඇත්තේ සැහැල්ලු වාහන සඳහා රියැදුරු බලපත්‍රයක් පමණක් බවත්, එබැවින් ඔහුට එරෙහිව නොසැලකිලිමත් ලෙස දකුණෙන් රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම සහ නියමිත කාණ්ඩයේ රියැදුරු බලපත්‍රයක් නොමැති වීම යන චෝදනා යටතේ අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT