Home » කෘෂි සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සියලු කටයුතු ඩිජිටල්කරණයට

කෘෂි සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සියලු කටයුතු ඩිජිටල්කරණයට

by mahesh
September 22, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ පරිපාලන සහ සියලු කළමනාකරණ කටයුතු තොරතුරු තාක්ෂණික පද්ධතියකට ඇතුළත් කිරීමට එම මණ්ඩලය පියවර ගෙන තිබේ.

යුරෝපා සංගමය, අන්තර්ජාතික සහයෝගිතාව පිළිබඳ ජර්මානු නියෝජිතායතනය විසින් මේ සඳහා රුපියල් මිලියන 80ක් දී ඇත.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් ක්‍රියාත්මක මේ ඩිජිටල් රක්ෂණ ක්‍රමවේදය නිල වශයෙන් ආරම්භ කිරීමේ වැඩසටහන (Green Impact Week – Launching of AAIB Digital Insurance for Farming Community) පෙරේදා (19) කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් සහයෝගිතා අංශයේ ප්‍රධානී Yohan Hayzer මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සිදු කෙරිණි.

මේ වැඩපිළිවෙළ යටතේ ගොවිජන රක්ෂණ කටයුතු සහ ධීවර රක්ෂණ කටයුතු තොරතුරු තාක්ෂණ පද්ධතියට ඇතුළත් කර ඇති අතර, ගොවි සහ ධීවර ජනතාවට අවශ්‍ය සේවාවන් පහසුවෙන් කඩිනමින් දීමට හැකියාව ලැබී තිබේ. මේ ඩිජිටල් පද්ධතිය නිසා ගොවිජන රක්ෂණ මණ්ඩලය යටතේ රක්ෂණාවරණය ලබා සිටින මිලියන 03ක් පමණ වන ගොවි ජනතාවට පහසුකම් රැසක් සැලසේ.

මේ අවස්ථාවට එක් වෙමින් Yohan Hayzer මහතා මෙලෙස පැවැසුවේය.

Òගොවිජන හා කෘෂිකාර්මික මණ්ඩලයේ සේවාවන් හා පරිපාලන කටයුතු ඩිජිටල්කරණය වීම ශ්‍රී ලංකාවට ආර්ථික මෙන්ම සමාජයීය වශයෙන් ද වැදගත්. මේ සඳහා ආධාර දීමට අන්තර්ජාතික සහයෝගිතාව සඳහා වන ජර්මානු ඒජන්සිය හා යුරෝපා සංගමයෙන් අවශ්‍ය සහයෝගය පළ කළා. මේ වැඩපිළිවෙළ නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හරිත ආර්ථිකයට ඇතුළත් වෙනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ශ්‍රී ලංකා රජයට කෘතඥතාව පළ කරනවා. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික කීර්තියට ලක් වෙනවා. විශේෂයෙන් මේ හරිත සතියේ මේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම ඉතාම වැදගත්.Ó

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා

Òඅද වන විට ගොවියා සහ පාරිභෝගිකයා අතර විශාල පරතරයක් ඇති වී තිබෙනවා. ගොවියා විසින් නිෂ්පාදනය කරන භෝග අතරමැදියා විසින් මිලදී ගන්නේ අඩු මුදලකට. ඒත් අඩු මුදලට මිලදී ගන්නා එළවළු සහ පලතුරු පාරිභෝගිකයා අතට යන්නේ ඉහළ මිලකට. මේ වෙළෙඳ ක්‍රමය කුමක්දැයි වැටහෙන්නේ නෑ. අපේ සියලුම නිලධාරීන් මේ ආර්ථික ක්‍රමය ගැන මෙන්ම මීට දිය හැකි විසඳුම ගැන කරුණු සෙවිය යුතුයි. මේ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය පමණක් නොවෙයි සියලුම අංශ මැදිහත්ව පිළිතුරු සෙවිය යුතුයි.

අද කෘෂිකර්මාන්තය කෙරෙහි තරුණ ප්‍රජාවගේ අවධානය ගිලිහී ගොස් තිබෙන්නේ මේ අනිසි සූරාකෑම නිසයි. අපේ රටේ කෘෂිකර්මාන්තයට තරුණ ප්‍රජාව එන්නේ නෑ. ඒ නිසා මෙවැනි තාක්ෂණික කරුණු මෙන්ම නව කෘෂි තාක්ෂණය තරුණ ප්‍රජාවට හඳුන්වා දිය යුතුයි. එවැනි වැඩසටහන්වලින් පමණයි මේ කෘෂිකර්මාන්තය ගැන තරුණ ප්‍රජාව තුළ විශ්වාසයක් ඇති කළ හැකි වන්නේ.Ó

මේ අවස්ථාවට රාජ්‍ය ඇමැතිවරුන් වන ඩී. බී. හේරත්, මොහාන් ද සිල්වා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

ඡායාරූපය – සුදත් මලවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT