Friday, May 9, 2025
Home » කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමට කැප වෙනවා

කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමට කැප වෙනවා

දේශගුණික අභිලාෂ: සමුළුවේදී ජනපති කියයි

by mahesh
September 22, 2023 1:00 am 0 comment

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පෙරේදා (20) පැවති දේශගුණික අභිලාෂ සමුළුවේදීය. වඩාත් සාධාරණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ගෝලීය ආර්ථිකයකට වඩාත් සාධාරණ හා වේගවත් පරිවර්තනය වීමක් වෙනුවෙන් ගෝලීය සාමුහික කැමැත්ත ප්‍රකාශ කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් මේ සමුළුව කැඳවා තිබිණි. කඩිනමින් අවතීර්ණ විය හැකි දේශගුණික ක්‍රියාමාර්ගවල වැදගත්කම මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට සහභාගි වී සිටින රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් විසින් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ද සිය ප්‍රශංසාව පළ කළේය.

දේශගුණික ගැටලු හේතුවෙන් 2050 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5%ක් අහිමි වන බවට විශේෂඥයන් විසින් අනාවැකි පළ කර ඇති බවත්, එබැවින් ශ්‍රී ලංකාවේ දේශගුණික අනුවර්තන සැලැස්මට ප්‍රවේශ ද්විත්වයක් අනුගමනය කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය. සුළං සහ සූර්ය බලය යන ශ්‍රී ලංකාව සතු ස්වභාවික වාසි ද ප්‍රයෝජනයට ගනිමින්, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය මත පදනම් වූ හරිත වර්ධනයට උපාය මාර්ගයක් ලෙස COP 27හි දී දේශගුණික සශ්‍රීකත්ව සැලැස්ම එළිදක්වූවා.

2022 වර්ෂයේදී ඇති වූ මූල්‍ය අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය හරිත ආර්ථිකයක් කරා පරිවර්තනය වීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ සිදුවන ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සමඟ මේ මුලපිරීම කළා.

ශ්‍රී ලංකාවේ දේශගුණික අභිලාෂ පිළිබඳ දෙවන පැතිකඩ වන්නේ දේශගුණික යුක්ති සංසදයක් පිහිටුවීමට සහාය වීමයි. මේ සංසදයේ අරමුණ වනුයේ දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන අලාභ හා හානි, ඊට අනුවර්තනය වීම සහ අවම කිරීම ඇතුළු විවිධ දේශගුණික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීමයි.

මේ ප්‍රයත්නයන්ට අමතරව, ගෝලීය වශයෙන් ප්‍රබල ක්‍රියාමාර්ග දෙකක් ද ශ්‍රී ලංකාව යෝජනා කර සිටිනවා. එහි පළමුවැන්න වන්නේ දේශගුණික විපර්යාස අවම කිරීමට ගෝලීය පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා වේදිකාවක් සපයන ජාත්‍යන්තර දේශගුණික විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම‍යි.

දෙවැනි යෝජනාව වන්නේ වගකීම් සහගත සම්පත් කළමනාකරණයක අවශ්‍යතාව හඳුනා ගනිමින් ශ්‍රී ලංකාවට උපරිම බලපෑමක් ගත හැකි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමයි.

නිවර්තන කලාපයේ සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් එම කලාපයේ වාසය කරන “අවදානමට ලක්වී ඇති ප්‍රජාවන්” අසාමාන්‍ය බලපෑම්වලට ලක් වෙනවා.

ඒ අනුව ජෛව විවිධත්වයෙන් ඉහළ නිවර්තන කලාපය ඉලක්ක කර ගනිමින් යෝජිත නිවර්තන කලාපීය දේශගුණික අභිලාෂ පිළිබඳ ව්‍යාපෘතිය මම ඉදිරිපත් කරනවා.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT