Saturday, May 10, 2025
Home » තරුණ තරුණියන්ට මාසික ආදායම් හිමි කරන වැඩසටහනින් උපරිම ප්‍රයෝජන ගන්න

තරුණ තරුණියන්ට මාසික ආදායම් හිමි කරන වැඩසටහනින් උපරිම ප්‍රයෝජන ගන්න

නියෝජ්‍ය කථානායක තරුණ ප්‍රජාවගෙන් ඉල්ලයි

by mahesh
September 22, 2023 1:00 am 0 comment

හැකියාවක් ඇති රැකියා නොමැති තරුණ තරුණියන්ට මාසික ආදායම් මාර්ගයක් හිමි කිරීමේ වැඩසටහනින් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙස නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලයි.

හැකියාවක් ඇති රැකියා නොමැති තරුණ තරුණියන්ට මාසික ආදායමක් හිමිවන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා පාර්ලිමේන්තුවේද උපරිම සහාය ලබාදීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. එමඟින් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙසද නියෝජ්‍ය කථානායකවරයා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා තරුණ කවය සංවිධානයේ සභාපති මහීන් දිසානායක, එහි උපදේශක සහ සණස බැංකුවේ සමිති සංවර්ධන ප්‍රධානී තුසිත වීරවර්ධන මහත්වරුන් අද (21) දින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය.

වයස අවුරුදු 18 – 30ත් අතර වයස් සීමාවේ පසුවන හැකියාවන් සහිත රැකියාවන් නොමැති තරුණ තරුණියන්ට මාසික ආදායමක් ලැබෙන ආකාරයට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

සංස්කෘතික, කලා, ක්‍රීඩා ඇතුළු විවිධ නිර්මාණ හැකියාවන් ඇති තරුණ තරුණියන්ට මාසික ආදායමක් ලැබෙන පරිදි ඔවුන් දැනුවත් කිරීම හා එම ආදායම් මාර්ග ලබාගැනීමට ඔවුන් යොමුකිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම තරුණ පිරිස් විවිධ වෘත්තීය පුහුණු සඳහා යොමු කිරීමට අමතරව කොරියානු, ජපන් භාෂා ඇතුළු විවිධ භාෂාවන් ඉගැන්වීම ඇතුළු අධ්‍යාපන කටයුතු ද මෙම වැඩසටහනට ඇතුළත් වීම විශේෂත්වයකි.

සති අන්තයේ මීට අදාළ පුහුණුවීම් ලබාදීමට නියමිත අතර මාස 06ක පුහුණුවක් ලබාදීමට නියමිතයි.

මෙම වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ ජනතා නියෝජිතයින් සහ පාර්ලිමේන්තුවේ අදාළ අංශ දැනුවත් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මෙම සියලු පුහුණුවීම් ඇතුළු උපදේශන සේවා නොමිලේ ලබාදෙන බව ශ්‍රී ලංකා තරුණ කවය සංවිධානයේ සභාපති මහීන් දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම වැඩසටහන සඳහා ජාතික තරුණ සේවා සභාවේද පුර්ණ සහයෝගය හිමිවන අතර, මේ සඳහා එක් කරගන්නා පළමු කණ්ඩායමට තරුණ තරුණියන් 1000 ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වේ. එය ලබන මාසයේදී මහරගම ජාතික තරුණ සේවා සභාවෙන් ආරම්භ කිරීමට නියමිත බවද ශ්‍රී ලංකා තරුණ කවයේ සභාපති මහීන් දිසානායක මහතා සඳහන් කළේය.

මෙම වැඩසටහන දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවත් හැකියාවන් සහිත රැකියා නොමැති තරුණ තරුණියන්ට මාසික ආදායම් මාර්ගයක් ලබාගැනීමට මෙය හොඳ අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා තරුණ කවය සංවිධානයේ උපදේශක සණස බැංකුවේ සමිති සංවර්ධන ප්‍රධානී තුසිත වීරවර්ධන මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායකතුමාගේ පෞද්ගලික ලේකම් විශ්‍රාමික මේජර් සරත් විපුලරාජ මහතාද සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT