Thursday, May 15, 2025
Home » දුම්රියක හැපීමෙන් මියගිය බව කියන පුතුගේ මරණය සැකයි

දුම්රියක හැපීමෙන් මියගිය බව කියන පුතුගේ මරණය සැකයි

by mahesh
September 22, 2023 1:03 am 0 comment

කුරුණෑගල අතිරේක - පුෂ්පකුමාර ජයරත්න
මියගිය නදීක ලක්ෂාන්

කුරුණෑගල, මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක හැපීමෙන් මරණයට පත්වූ බව කියන දහඅට හැවිරිදි තම පුතුගේ මරණය සැකසහිත බව මවුපියන් පවසති.

පසුගිය 19 වන දින අලුයම් කාලයේදී කුරුණෑගල පහළ ගැට්ටුවාන මීගස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නදීක ලක්ෂාන් ගුණවර්ධන නැමැති ළාබාල කඩවසම් තරුණයා මරණයට පත්ව ඇත. පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාලම දරුවා ඔහු විය.

තම නි‍ෙවසට ආසන්නයේදීම දුම්රිය මාර්ගය අද්දර හිසට සිදුවූ තුවාල සහිතව වැටී මියගොස් සිටියදී දුම්රිය මාර්ගය පරීක්ෂාවෙහි යෙදී සිටි සේවක පිරිසකට ඔහුගේ මෘතදේහය හමුවී තිබේ. එම ස්ථානයේ සිට මීටර් සීයක පමණ දුරකින් ඔහුගේ නිවස ද පිහිටා තිබේ.

ගැට්ටුවාන මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන මියගිය තරුණයා පාසලෙන් ඉවත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ආධුනිකත්ව මණ්ඩලයේ වායු සමීකරණය පිළිබඳ පාඨමාලාවක් හදාරමින් සිට ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුවක් ලබමින් සිටියදී මෙසේ අනපේක්ෂිත ආකාරයට මරණයට පත්ව ඇත.

මියගිය තරුණයා ඊට පෙර දිනයේ කිසියම් ගමනක් යාමේ බලාපොරොත්තුව ඇතිව නි‍ෙවසේ සිට මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානය කරා පදවාගෙන ගිය තම යතුරු පැදිය ආපසු නි‍ෙවසට රැගෙන යන ලෙස ඔහුගේ මිතුරෙකුට දුරකතන ඇමතුමක් ලබාදී පවසා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවූ බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි. ඒ අනුව තම දරුවා එවැනි ගමනක් යාම සම්බන්ධයෙන්ද මාපියන් දැනුවත්ව නොසිටි බවද කියයි.

දුම්රියකින් ගමන් කිරීමට තම පුතු දුම්රිය ස්ථානයට ගියා නම් ඔහු දුම්රිය ස්ථානය හමුවීමට පෙර ස්ථානයක වැටී සිටියදී හමු වීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බවද හැඳ සිටි කලිසමේ තිබී ඔහුගේ මුදල් පසුම්බිය හමුවී තිබුණ ද එහි දුම්රියකින් ගමන් කිරීමට සූදානමින් සිටියා නම් ඊට අවශ්‍ය දුම්රිය ගමන් ප්‍රවේශපත්‍රයක් හමුනොවූ බව මියගිය තරුණයාගේ පියා වන ඩී.පී. ගුණවර්ධන මහතා (69) මහතා සඳහන් කළේය. එසේම තම පුතු භාවිතා කළ ජංගම දුරකතනය ද මෙතෙක් සොයා ගැනීමට හැකිවී නැති වුවද එම දුරකතනය තවමත් ක්‍රියාකාරීව පවතින බවද ඔහු ප්‍රකාශ කළේය. එම දුරකතනය සොයා ගැනීමට හැකිවුවහොත් හෝ ඊට අදාළ දුරකතන ඇමතුම් විස්තර පරීක්ෂා කළහොත් තම පුතුගේ මරණයට අදාළ හේතුවක් සොයා ගැනීමට හැකි වන බවට විශ්වාස කරන බවද ඒ මහතා සඳහන් කළේය.

තම පුතුගේ මරණය සියදිවි හානි කර ගැනීමක් බවට සැක කළ ද එසේ දිවි හානි කර ගැනීමට තරම් බලපෑ කරුණක් ඔහුට නොතිබූ බවද එවැනි සිත් තැවුලකින් ඔහු කාලය ගත නොකළ බවද ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT