Saturday, May 10, 2025
Home » ත්‍රීවිල් සොරාගෙන කොටස් කර විකුණන කල්ලියක් මාට්ටු

ත්‍රීවිල් සොරාගෙන කොටස් කර විකුණන කල්ලියක් මාට්ටු

අත්අඩංගුවට ගත් සිවුදෙනා අතර සිවුරු හැර ගිය පුද්ගලයෙක්

by mahesh
September 22, 2023 1:00 am 0 comment

හල්තොට සමුහ - විනීතා මානෙල් ගමගේ මුල්ලේරියාව - සිරිසේන ගමගේ

මහමඟ නතර කර තිබෙන ත්‍රිරෝද රථ සොරකම් කර ඒවා කොටස් කර විකුණන මිතුරු කල්ලියක සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි.

මෙම කල්ලියේ දෙදෙනෙකු විසින් සොරකම් කරන ලද ත්‍රිරෝද රථ ගරාජයක් හිමි මිතුරාට ලබාදෙන අතර ඔහු අනෙක් සැකකරු සමඟ ඒවා කොටස් කර විකුණා ඇති බව අනාවරණය වී තිබේ.

මෙසේ අත්අඩංගුවට පත් වූ ප්‍රධාන සැකකරුවන් වූයේ වැල්ලම්පිටිය, වඩුගොඩවත්ත පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු සහ වැල්ලම්පිටිය, කොටුවිල පදිංචි 23 හැවිරිදි මහණ වී සිට සිවුරු හැර පැමිණි පුද්ගලයෙකි.

ගරාජ් හිමියා ද කොටුවිල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු වන අතර අනෙක් සැකකරු 38 හැවිරිදි වැල්ලම්පිටිය, හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය 18 වැනිදා වැල්ලම්පිටිය, වඩුගොඩවත්ත ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් නැති වූ බවට ලද පැමිණිල්ලකට අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු ශාමික නිලධාරියා විසින් විමර්ශන සිදු කිරීමේදී මෙම කල්ලියේ පළමු සැකකරු පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්පසු සිදු කළ විමර්ශනයේදී එම ත්‍රිරෝද රථය වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ ගරාජයක තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ. මේ අනුව අනෙක් තිදෙනා පිළිබඳ තොරුතුරු ද අනාවරණය වී තිබේ.

පොලිසිය එම ගරාජය වටලන අවස්ථාවේ සැකකරුවන් විජය පාරේ ත්‍රිරෝද රථයක් සොරාගෙන එහි චැසිය හා එන්ජිම මාරු කර වර්ණය වෙනස් කරමින් සිට ඇති බව පොලිසිය පවසයි. එම ත්‍රිරෝද රථයේ එන්ජිම සේදවත්ත පාර, හල්ලුම්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් විසිපන් දාහකට අලෙවි කර තිබියදී සොයා ගෙන තිබේ.

වඩුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු විසින් වඩුගොඩවත්ත ප්‍රදේශයේ ඔහු හොඳින් දන්නා හඳුනන පුද්ගලයෙකුගේ ත්‍රිරෝද රථය සොරකම් කර ඇති අතර දින තුනක් අතුලත කොටුවිල ගරාජයේදී එය කොටස් කර ඇති බව‍ අනාවරණය වී තිබේ. එහි චැසිය දිරාපත්ව තිබී ඇති අතර චැසිය හා බක්කිය පරණ යකඩබඩු කඩයකට අලෙවි කර ඇති බව පොලිසිය පවසයි. සේදවත්ත, කළුපාලම අසල යකඩ බඩු කඩයක තිබියදී එහි චැසියද සොයා ගැනීමට හැකි වී තිබේ.

මේ අනුව සොරා ගත් ත්‍රිරෝද රථවල එන්ජිමක්, ඇක්සල් ජෝඩුවක්, රිවස් බෝලය, බ්‍රේක් බට, බක්කියක්, එන්ජිමක් යොදන ලද ත්‍රිරෝද රථයක් ඇතුළු තවත් උපාංග රැසක් ගරාජය තුළ තිබියදී සොයා ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

සැකකරුවන් තිදෙනා 20 දා කොළඹ, අළුත්කඩේ අංක 02 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් නියෝග කළ බව පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT