බත් පිඟානක් ලබාදෙද්දී නංගිගේ අත මිරිකුවැයි ඥාති සොහොයුරාට කිනිස්සකින් පහරදී බරපතළ තුවාල සිදුකළ යුද හමුදා හිටපු රගර් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට ගත්බව පාණදුර දකුණ පොලිසිය පවසයි. පිහි පහරවල් විස්සක් පමණ එල්ලවී දෑත්වලට සිදුවූ බරපතළ තුවාල සහිතව පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යොමුකර ඇති බවත්, ඔහුගේ තුවාලවලට මැහුම් පනහකට ආසන්න ප්‍රමාණයක් යොදා ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පාණදුර වලාන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු හමුදා හිටපු රගර්
ක්‍රීඩකයෙකු බවත් පොලිසිය කීය. පහරදීම සම්බන්ධයෙන් සෙන්ටිමීටර 12ක් පමණ දිගැති තියුණු දෙපැත්ත කැපෙන කිනිස්ස ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේමාල් වීරසිංහ, උප පොලිස් පරීක්ෂක වසන්ත, සැරයන් ඉන්දික (9476), කොස්තාපල් ජයවික්‍රම (99513), මධුමාල් (100103), බණ්ඩාරනායක (100014) සහ බණ්ඩාර (100265) වැටලීමට එක්වූහ .