Home » මතභේද අවසන්: දේශීය ක්‍රිකට් අද සිට

මතභේද අවසන්: දේශීය ක්‍රිකට් අද සිට

by mahesh
September 22, 2023 12:55 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

දේශීය ක්‍රිකට් තරගාවලි සම්බන්ධව පසුගිය දිනවල තිබූ මත ගැටුම් නිමා කරමින් අද සිට සුපුරුදු පරිදි දේශීය ක්‍රිකට් තරගාවලි යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා ඇත.

දේශීය ක්‍රිකට් තරගාවලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා අමාත්‍යාංශය අතර පවැති සාකච්ඡාවකින් අනතුරුව තරගාවලිය යළි ආරම්භ කිරීමේ තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් එළැඹ තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශයට යෙමුව තිබූ පැමිණිල්ලක් ක්‍රීඩා අමාත්‍යාංශ අභියාචනා උපදේශක කමිටුවට ලැබී තිබූ අතර, එහි නිර්දේශ ක්‍රීඩා ඇමැතිවරයාට ලබාදී ඇතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතා ‘දිනමිණ‘ට පැවැසීය.

ඒ අනුව දේශීය ක්‍රිකට් තරගාවලිය ඉක්මණින් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම් දී ඇති අතර, නවතා දමා තිබූ ටියර් ‘ඒ‘ හා ‘බී‘ යන කාණ්ඩ දෙකේම තුන්දින තරග අද සිට අරම්භ කෙරේ.

“ දේශීය ක්‍රිකට් තරගාවලිය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි. ඒ තරගාවලියෙන් තමයි දක්ෂ ක්‍රීඩකයින් අපට හඳුනාගත හැකි වන්නේ. ඇමැතිතුමාගේ උපදෙස් ලැබුණේ තරගාවලිය ඉක්මණින් ආරම්භ කරන ලෙසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යළි දේශීය තරගාවලිය ආරම්භ කිරීම පිළිබඳ සතුටුයි. මතුව ඇති ප්‍රශ්න විසඳ ගන්නයි අවශ්‍ය“ මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඒ අනුව සීසීසී හා එස්එස්සී අතර තරගය සීසීසී පිටියේදී, කෝල්ට්ස් හා යුද හමුදාව අතර කෝල්ට්ස් පිටියේදී, රාගම ක්‍රිකට් සමාජය හා නුගේගොඩ සුභසාධක සමාජය අතර තර්ස්ටන් පිටියේදී, ගාල්ල හා බීආර්සී අතර ගාල්ල පිටියේදී, මීගමුව හා කැන්ඩි කස්ටම් අතර තරගය කටුනායක ක්‍රීඩාංගණයේදී, එන්සීසී හා ටැමිල් යූනියන් අතර එන්සීසී පිටියේදී, හලාවත මේරියන්ස් හා මුවර්ස් අතර මග්ගොන සරේ පිටියේදී, කුරුණෑගල යූත් හා ඒස් කැපිටල් අතර වෙලගෙදර පිටියේදී, බ්ලූම්ෆීල්ඩ් හා පොලිස් අතර බ්ලූම්ෆීල්ඩ් පිටියේදී, සෙබස්තියනයිට්ස් හා ගුවන් හමුදාව අතර මොරටුව ද සොයිසා පිටියේදී අද සිට දින තුනක් මේ සතියේ තරග පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT