ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක් වූ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය ඊයේ සිඩ්නි නුවර ඩව්නින් දිස්ත්‍රික් අධිකරණයේදී නිමාවට පත් විය. දින හතරක් පුරා පැවැති නඩු විභාගයේ තීන්දුව විනිසුරු සාරා හගේට් මහත්මිය විසින් ලබන 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය වසරේ අගභාගයේදී ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 තරගාවලිය අතරතුර බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බවට සිඩ්නි නුවර පදිංචි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට පත් වූ ධනුෂ්කට එරෙහිව සිඩ්නි නුවර දිස්ත්‍රික් අධිකරණයේ චෝදනා 4ක් ගොනු කර තිබුණ ද පොලිසිය විසින් පසුව චෝදනා 3ක් ඉවත් කර ගැනීම හේතුවෙන් ඊයේ අධිකරණයේදී අවසන් වූ නඩු විභාගයට පාදක වූයේ එක් චෝදනාවක් පමණි. නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අධිකරණය නියම කරනු ලැබුවේ අදාළ චෝදනාව ධනුෂ්ක ගුණතිලක ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.
දෙපාර්ශ්වයම තර්ක විතර්ක ඉදිරිපත් කිරීමෙන් පසුව නඩු විභාගය අවසන් වූයේ තීන්දුවට තවත් දින 6ක කාලයක් ඉතිරි කර තබමිනි.
ධනුෂ්ක ගුණතිලකට එරෙහිව අදාළ කාන්තාව දුන් සාක්ෂි අභියෝගයට ලක් කරමින් ඇය ප්‍රබන්ධයක් හෝ ගොතනු ලැබූ කතාවක් ප්‍රකාශ කරන බවට ඔහුගේ නීතිඥ මුරුගන් තංගරාජ් ඊයේ අධිකරණයට යෝජනා කරද්දී පැමිණිල්ලේ සාක්ෂි සාධාරණ සැකයෙන් ඔබ්බට පිළිගත යුතුයි කියමින් පැමිණිල්ල මෙහෙය වූ නීතිඥවරිය ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් විනිසුරු සාරා හගේට්ගෙන් ඉල්ලා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක වරදකරු කරන ලෙසටය.
දෙදෙනා අතර ලිංගික හැසිරීමේදී ධනුෂ්ක ඇගේ එකඟතාවකින් තොරව උපත් පාලන කොපුව ඉවත් කිරීමේ සත්‍යය හැර වෙනත් තාර්කික නිගමනයන් නැති බවට විනිසුරුවරියගේ අවධානය යොමු විය යුතු යැයි ද පැමිණිල්ල මෙහෙය වූ නීතිඥවරිය අධිකරණයේදී වැඩිදුරටත් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
එදින රාත්‍රිය අදාළ කාන්තාව අපේක්ෂා නොකළ වෙනස් රාත්‍රියක් වූ බවත්, ක්‍රිකට් ක්‍රීඩකයා රළු ආකාරයෙන් හා කාන්තාවගේ ඉල්ලීම් සහ සීමාවන් කිසිවක් කෙරෙහි සැලකිල්ලක් හෝ ගෞරවයක් නොදැක්වූ බවත් නීතිඥවරිය වැඩිදුරටත් අධිකරණයට ප්‍රකාශ කර තිබේ.
ධනුෂ්ක සහ එම කාන්තාව අතර අවසන් දිනයේ සිදුවීමට පෙර හුවමාරු වූ කෙටි පණිවුඩවල රසවත්භාවය පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එය දෙදෙනා අතර හමුවීමකට පෙලඹීමක් වූ බවත්, ධනුෂ්ක ගුණතිලක ඉතා නිර්දය ලෙස කාන්තාව ලුහුබැඳ යෑම දක්වා එය විහිදී ගිය බවත් ඇය සඳහන් කර තිබේ.
උපත් පාලන කොපු පැලඳීමට තමා අකමැති බව ධනුෂ්ක අත්අඩංගුවට පත් පළමු දිනයේදී පොලිසිය හමුවේ කළ ප්‍රකාශයේ සඳහන් වූ බව සිහිපත් කළ නීතිඥවරිය, දෙදෙනා අතර ලිංගික හැසිරීමේදී ඔහු එය පැලඳීම හුදෙක් කාන්තාව සෑහීමකට පත් කිරිමට පමණක් සිදු කළ බවට අධිකරණයට යෝජනා කර ඇතැයි ද වාර්තා වේ. එම රාත්‍රියේදී පැමිණිලිකාරිනිය ඉතා අවදානම් තත්ත්වයකට පත්ව සිටි බවටත්, සම්පූර්ණ බලය ඔහු සතුව තිබූ බවටත් නීතිඥවරිය කරුණු දක්වා තිබේ.
විත්තිකාර ධනුෂ්කගේ නීතිඥ තංගරාජ් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ පැමිණිලිකාරිනිය චෝදනාවට ගැළපෙන ආකාරයට හැඩ ගැසුණු ප්‍රබන්ධයක් ඉදිරිපත් කර ඇති බවය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කාන්තාව පොලිසියට දුන් සාක්ෂිය සහ අධිකරණයේදී ලබා දුන් සාක්ෂිය අතර පරස්පර විරෝධී බවක් පෙන්නුම් කෙරෙන බවය. ඇගේ ප්‍රබන්ධනාත්මක සාක්ෂිය ශක්තිමත් අයුරින් ගොනු කිරීමට ඇය අසමත් වී ඇතැයි පැවසූ නීතිඥ මුරුගන්, ලිංගික හැසිරීමේදී ඇගේ අනුදැනුමකින් තොරව ඔහු උපත්පාලන කොපුව ඉවත් කළ බවට පිළිගත හැකි කිසිදු පදනමක් එම සාක්ෂි තුළ ගැබ්වී නොතිබුණු බව අධිකරණය හමුවේ අවධාරණය කර තිබේ.
එමෙන්ම පැමිණිලිකාරිනිය හිතාමතාම සිය සාක්ෂිවල යම් යම් කරුණු අතහැරදමා තිබේ දැයි ප්‍රශ්න කළ නීතිඥ මුරුගන්, ඇය මේ සිදුවීම පළමුව සිය මිතුරන් සමඟ ප්‍රකාශ කරද්දී ධනුෂ්ක උපත්පාලන කොපුව ඉවත් කිරීම අවිනිශ්චිත බව සඳහන් කිරීම අධිකරණයේ අවධානයට යොමු කර තිබේ.
බොහෝ අවස්ථාවන්හීදී ඇගේ ප්‍රබන්ධය හා බැඳුණු කරුණු ඇයට අමතකව ගොස් තිබූ බවක් දිස්වන්නේ යැයි කී ධනුෂ්කගේ නීතිඥවරයා, ඔහු තමාට අවශ්‍ය දේ කරන, කිසිදු ගරුසරුවක් නැති පුද්ගලයකු බවට කියැවෙන ප්‍රකාශ සහ පැමිණිලිකාරිනියගේ සාක්ෂි ප්‍රතික්ෂේප කරන බව අධිකරණයට තරයේම දන්වා සිටියේය.
ධනුෂ්ක ගුණතිලක සමඟ විසිත්ත කාමරයේ සිටියදී ඔහු තමා පසුපසට තල්ලු කර බලහත්කාරයෙන් සිපගත් බව නඩු විභාගයේ පළමු දිනයේදී සාක්ෂි දෙමින් ප්‍රකාශ කළ ද පසුව ඇය ඔහු සිය නිදන කාමරයට කැඳවාගෙන ගොස් එහි ඉටිපන්දම් දල්වා නිරුවත් වූ බව අධිකරණයේදී ප්‍රකාශ කර ඇතැයි ද නීතිඥ තංගරාජ් අවධාරණය කළේය.
ඇය ප්‍රකාශ කරන පරිදි විසිත්ත කාමරයේදී මේ සියල්ල සිදු වූ බව සම්පූර්ණයෙන්ම තර්කානුකූල නොවන බව පෙන්වා දුන් නීතිඥ තංගරාජ්, ‘අපි මගේ කාමරයට ගිහින් ඉටිපන්දම් දල්වමු යැයි පසුව ඇය ධනුෂ්කට පැවැසීම අධිකරණයේ අවධානයට යොමු කර තිබේ.
කාන්තාව මුණගැසුණු පළමු දිනයේදී ලිංගික හැසිරීමකට අවස්ථාවක් නැතැයි සිතමින් තමා උපත් පාලන කොපු රැගෙන නොගිය බව අත්අඩංගුවට පත් වූ දිනයේදී ධනුෂ්ක පොලිසියට ප්‍රකාශයක් කරමින් කියා සිටිය ද, ඔහු එම කාන්තාව හමුවීමට යෑමේදී රැගෙන ගොස් ඇති උරහිසේ එල්ලා ගන්නා කුඩා ගමන් මල්ලේ තිබූ ඔතන ලද උපත්පාලන කොපු දෙකක් පොලිසිය විසින් පසුව සොයාගනු ලැබීම ද අධිකරණයේ අවධානයට ලක් වී තිබේ.
ඒ සම්බන්ධව ඔහුගේ නීතිඥවරයාගේ තර්කය වී ඇත්තේ පැමිණිලි පාර්ශ්වය කියන පරිදි තම සේවාදායකයා උපත් පාලන කොපු භාවිතයට අකමැති පුද්ගලයකු නම් ඔහු ඒවා රැගෙන ගියේ මන්දැයි යන්නය. එබැවින් පැහැදිලිවම තම සේවාදායකයා උපත් පාලන කොපු භාවිත කිරීමට සූදානමින් සිටි බව ඔහුගේ තර්කය වී තිබේ. නඩු විභාගය නිමාවට පත් කළ විනිසුරු සාරා හගේට් සිය තීන්දුව ලබන 28 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණයට දැනුම් දුන් බව එරට මාධ්‍ය සඳහන් කළේය.
ධනුෂ්ක හැඬූ කඳුලින් සාක්ෂි දෙන අයුරු