Home » 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් බෙදාහැරීම ඇරඹෙයි

2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් බෙදාහැරීම ඇරඹෙයි

by chanaka
September 23, 2023 6:42 pm 0 comment

ඉදිරි වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම පාසල් පෙළපොත් සිසුන් අතට පත් කරන බව 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් මුද්‍රණය කර බෙදා හැරීමේ වැඩසටහන යටතේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් හෝමාගම පිටිපන පිහිටි ප්‍රධාන ගබඩාවේ සිට ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට පෙළපොත් බෙදාහැරීම ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය.

සීමිත පිරිසකට පමණක් නිල ඇඳුම් ලබා දෙන බව පවසමින් විවිධ පිරිස් විසින් කරනු ලබන චෝදනා හා අසත්‍ය ප්‍රචාර තමන් ප්‍රතික්ෂේප කරන බව මෙහි දී අමාත්‍යවරයා පැවසීය. 2024 වර්ෂයේ දී පාසල් නිල ඇඳුම් හා දිවා ආහාර ද නිසි කලට ප්‍රමාණවත් පරිදි ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන අතර 2024 වර්ෂාවසානය වන විට සියලු‍ විෂය නිර්දේශ ආවරණය කර පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ මගහැරුණු අධ්‍යයන කටයුතු සියල්ල යථා තත්වයට පත් කිරීම, මෙම සියලු‍ භෞතික පහසුකම් සැපයීමේ අපේක්ෂාව බවත් ඇමතිවරයා සඳහන් කළේ ය.

එසේ ම පෙර වර්ෂයට සාපේක්ෂ ව අඩු වියදමකින් මෙන් ම කල්වේලා ඇති ව පෙළ පොත් මුද්‍රණය කිරීමට මෙවර හැකියාව ලැබී තිබෙන බවත් එමගින් රුපියල් මිලියන 4,000ක් රජයට ඉතිරි කර දීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහි දී කී ය. රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මේ වන විට ලාභ ලබන මට්ටමට පත් ව ඇතැයි ද ඉදිරියේ දී සියලු‍ පාසල් පෙළ පොත්, අභ්‍යාස පොත් මෙන් ම රජයේ වෙනත් ලේඛන ද එම ආයතනයට මුද්‍රණය සඳහා ලබා දෙමින් තව දුරටත් එහි ශක්‍යතාව හා ප්‍රමිතිය ඉහළ නැංවීමට කටයුතු කරන බවත් පැවසූ අමාත්‍යවරයා අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස පාසල් පද්ධතිය තුළ යථාර්ථයක් බවට පත් කිරීමේ දී මේ සියලු‍ ආයතනවල, කාර්ය මණ්ඩලවල සහයෝගය හා කැපවීම ද අත්‍යවශය සාධකයක් වන බව කියා සිටියේ ය.

මෙම අවස්ථාවට අධ්‍යාපන ප්‍රකාශ කොමසාරිස් ඉසෙඩ්. තාජුදීන් මහතා ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT