රජයේ පාසල්වල මිලියන ගණනාවක සිසුන්ගේ අධ්‍යාපනය බිඳ දමමින් නේපාලයේ දැවැන්ත ගුරු වර්ජනය තුන්වැනි දිනයටත් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට විරෝධය පාමින් මේ වර්ජනය ආරම්භ කර ඇති අතර, පාසල් අධීක්ෂණය කිරීමේ කටයුතු පළාත් බලධාරීන්ට ලබාදීම හා දේශපාලන කණ්ඩායම්වලට එක්වීම ගුරුවරුන්ට තහනම් කිරීම සම්බන්ධයෙන් ද ගුරුවරු සිය විරෝධය පළ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
ලක්ෂයකට වැඩි ගුරුවරු පිරිසක් මේ වර්ජනයට එක්වී සිටින බවත්, ඔවුන් කත්මණ්ඩු අගනුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී කැරලි මර්දන හමුදාව ඔවුන්ට පහර දී ඇති බවත් වාර්තා වේ. මේ නොසන්සුන්තාව අවසන් කරන ලෙස සිසුන් සහ මාපියන් ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් ද කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.