බෞද්ධාගම ඇතුළු ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බව කියන සිද්ධියකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනු කර ඇති රිට් පෙත්සම ඔක්තෝම්බර් මස 4 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (22) දින නියම කෙළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ඒ. එම්. ආර්. මරික්කාර් යන මහත්වරුන් හමුවේ පෙත්සම කැඳ වූ අවස්ථාවේ දී මේ බව තීරණය කරන ලදී.
ආගමික දේවමෙහෙයක දී බෞද්ධාගම ඇතුළු අන්‍යාගම්වලට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කළ බවට මහත් ආන්දෝලනයක් ඇති වීමෙන් අනතුරුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
ඒ වන විටත් ඔහු විදේශගතව සිටි අතර, ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය අවසර ලබා දී තිබුණි.
මෙම දේවගැතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර, අනතුරුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ද තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
අනතුරුව එම මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව කිසිදු සඳහනක් නොකර දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළ අතර ඔහුගේ නීතිඥවරුන් විසින් එය පසුව ඉල්ලා අස්කර ගන්නා ලදී.
අනතුරුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් මෙම රිට් පෙත්සම නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
තමන් අත්අඩංගුවට ගැනීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොලිස්පතිවරයා හෝ ඔහුගේ නිලධාරීන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.
ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා පෙත්සම්කාර දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.