Sunday, May 11, 2025
Home » බිරි­යට පිහි­ය­කින් ඇන ඝාත­නය කිරී­මට තැත් කළ සැමි­යාට දඩ සමඟ වසර 13ක සිර­ද­ඬු­වම්

බිරි­යට පිහි­ය­කින් ඇන ඝාත­නය කිරී­මට තැත් කළ සැමි­යාට දඩ සමඟ වසර 13ක සිර­ද­ඬු­වම්

by Gayan Abeykoon
September 23, 2023 1:07 am 0 comment

සූරියවැව විශේෂ - නුවන් ජයසේකර

වසර පහකට පෙර වීරවිලදී සිය බිරියට පිහියකින් ඇන ඝාතනය කිරීමට තැත් කිරීමේ වරදට වරදකරු වූ 33 හැවිරිදි දෙදරු පියකුට රුපියල් 10,000/= දඩයක් හා වසර 13ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා ඊයේ (22) නියම කෙරුණි.

මෙලෙස සිර දඬුවම් නියම වූයේ තිස්ස පාර, වීරවිල පදිංචි මහ මරක්කලගේ ශෂී සහන් පැතුම් නමැති 33 හැවිරිදි දෙදරු පියෙකුටය.

චුදිත පුද්ගලයා හා බිරිය අතර කලක් තිස්සේ පැවති පවුල් ආරවුලක් දුරදිග ගොස් 2018.12.26 වැනි දින තිස්ස පාර වීරවිල පිහිටි චුදිත පුද්ගලයාගේ නිවෙස තුළදී ආරවුල විසඳීමට පැමිණ සිටි පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීම පිහියකින් ඇන ඝාතනය කිරීමට තැත් කර තිබේ.

එහිදී පොලිස් නිලධාරීන් හා අවට පිරිස් එක්ව තත්ත්වය පාලනය කර ඇති අතර, චුදිතගේ පිහි පහරින් බරපතළ තුවාල ලැබූ චුදිතගේ බිරිඳ වූ තිස්සමහාරාම සදුනගම ග්‍රාම නිලධාරිනිය ලෙස කටයුතු කළ 31 හැවිරිදි නදීකා ලක්මාලි යන අය ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

චුදිත පුද්ගලයා එම අවස්ථාවේ දීම වීරවිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා මත හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලදී.

ඒ අනුව පැවති නඩු විභාගයේදී පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව නඟා තිබූ අධි චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට සමත්විය.

ඒ අනුව අදාළ චෝදනාවට චුදිත වරදකරු කළ හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා චුදිතට වසර දහතුනක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණි.

ඊට අමතරව රුපියල් 10,000ක දඩයක් ද නියම කළ අතර, චුදිත පුද්ගලයා එය නොගෙවන්නේ නම් තවත් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණි.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ අනුරාධ විජේසුරේන්ද්‍ර මහතා පැමිණිල්ල මෙහෙයවන ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT