Sunday, May 11, 2025
Home » ලෙඩෙක් පෙන්වන්න මහේ­ස්ත්‍රා­ත්ව­ර­යකු පෝලිම් පැනලා

ලෙඩෙක් පෙන්වන්න මහේ­ස්ත්‍රා­ත්ව­ර­යකු පෝලිම් පැනලා

ඔස්ට්‍රේ­ලි­යාවේ පදිංචි ශ්‍රී ලාංකික යුව­ළ­ක­ගෙන් මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක්

by Gayan Abeykoon
September 23, 2023 1:28 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

වෛද්‍යවරයකු මුණ ගැසීම සඳහා කලින් වේලාව වෙන් කර ගත් රෝගී ළදරුවන් සමඟ පෝලිමේ සිටි සෙසු රෝගීන් නොතකා හරිමින් වෛද්‍යවරයකු මුණ ගැසීම සඳහා ඇතුළු වූ මහේස්ත්‍රාත්වරයකු ඇතුළු පවුලේ සාමාජිකයන්ට විරුද්ධ වූ තමන් අත්අඩංගුවට ගෙන නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන අමානුෂික ලෙස හිරිහැර කිරීම වෙනුවෙන්   රුපියල් මිලියන 10ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික යුවලක් ඊයේ (22)ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

චමින්ද කෞෂල්‍යය මනනායක සහ ඔහුගේ බිරිය වන ලක්මාලි දිනූෂා රණතුංග නීතීඥ මංජු බාලසූරිය මහතා මඟින් මෙම පෙත්සම් ගොනු කැර ඇත. රාගම පොලිස් ස්ථානාධිපති බුද්ධික රාජපක්ෂ,පොලිස්පතිවරයා,නීතිපතිවරයා ඇතුළු දහසය දෙනකු මෙහි වගඋත්තර කරුවෝ වෙති. තමන් ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන හිරිහැරයට ලක් කරමින් අමානුෂික ලෙස කටයුතු කළ රාගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ. ඕස්ට්‍රේලියාවේ සමාගමක ගණකාධිකාරීවරයකු ලෙස සහ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සේවය කරන පෙත්සම්කරුවන් පෞද්ගලික සංචාරයක් සඳහා ඉකුත් මැයි මාසයේදී මෙරටට පැමිණි බව පෙත්සමේ සඳහන් වේ.

සිය මාස නමයක් වයසැති ළදරුවාට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරයකු මුණ ගැසීමට පෞද්ගලික රෝහලකින් වේලාව වෙන්කර ගත් බව පෙත්සම්කරුවන් කියා සිටිති.

ඒ අනුව එම වෛද්‍යවරයා මුණ ගැසීමට ගිය අවස්ථාවේදී වෛද්‍යවරයා එම ස්ථානයට පැමිණ පළමු රෝගියා පරික්ෂා කරන අවස්ථාවේදීම පුද්ගලයකු ඇතුළු පිරිසක් වෛද්‍යවරයාගේ කාමරයට කඩිමුඩියේ ඇතුළු වූ බවද ඔවුන් සතුව වේලාව වෙන්කර ගැනීමේ රිසිට් පතක් නොවූ බවද පෙත්සම්කරුවන් කියයි.

රෝගී ළදරුවන් සමඟ වෛද්‍යවරයා මුණගැසීමට විශාල පිරිසක් බලා සිටියදී මෙසේ පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් වෛද්‍යවරයාගේ කාමරයට ඇතුළු වීම සම්බන්ධයෙන් එහි රැඳී සිටි පිරිස නොසන්සුන් වූ බව පෙත්සමෙහි සදහන් වේ.

එහිදී ඒ සම්බන්ධයෙන් තමන් ඇතුළු පිරිසක් විරෝධය පළ කළ බවද ඔවුන් පිටතට පැමිණි අවස්ථාවේදී තමන්ගේ සැමියා මහේස්ත්‍රාත්වරයකු වන බව එහි සිටි කාන්තාවක ප්‍රකාශ කළ බව පෙත්සමෙහි සඳහන් වෙයි. අනතුරුව ටික වේලාවකින් එහි පැමිණි රාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් විසින් තමන් සහ රෝගී දරුවන් අතැතිව සිටි තවත් යුවලක් අත්අඩංගුවට ගත් බව පෙත්සම් කරුවන් කියයි. රාගම පොලිස් ස්ථානයට ගෙන යාමෙන් පසුව දිගු වේලාවක් හිරිහැරයට ලක් කරමින් එහි රඳවා සිටි බව පෙත්සම්කරුවෝ චෝදනා කරති. අනතුරුව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමථ මණ්ඩලය ට එම පැරණිල්ල යොමු කරමින් ඔවුන් මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව පෙත්සමෙහි සඳහන් වේ. මෙම සිදුවීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1),13 (1) ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසට පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT