Thursday, May 15, 2025
Home » අලි මිනිස් ගැටු­ම විසඳන “අලි අගල් කැපීමේ ව්‍යාපෘ­තිය” අත්හි­ටු­වන අතුරු තහ­නම දීර්ඝ කරන්න නියෝ­ග­යක්

අලි මිනිස් ගැටු­ම විසඳන “අලි අගල් කැපීමේ ව්‍යාපෘ­තිය” අත්හි­ටු­වන අතුරු තහ­නම දීර්ඝ කරන්න නියෝ­ග­යක්

by Gayan Abeykoon
September 23, 2023 1:18 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

ලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස ආරම්භ කරන ලද Òඅලි අගල් කැපීමේ ව්‍යාපෘතියÓ අත්හිටුවමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ලබන වසරේ මාර්තු මස හයවැනිදා තෙක් බලපවත්වන පරිදි දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) තීරණය කළේය.

වනජීවි සහ වන සංරක්ෂණ කලාප ආශ්‍රිතව අලි අගල් කැපීමේ මුවාවෙන් මහා පරිමාණ වැලි ජාවාරමක්, පරිසර සහ වන විනාශයක් වන බවට පැමිණිලි කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන ලදී. ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා සඳහන් කළේ අලි අගල් කැපීමේ මෙම ව්‍යාපෘතියට මුවා වී වැලි ජාවාරම්කරුවන් විසින් මහා පරිමාණයෙන් වැලි කැණීම සිදු කරන බවය.

පාරසරික පනත ඇතුළු පරිසර නීති උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘති සිදු කරන අතර, වලංගු බලපත්‍රයකින් තොරව වැලි ප්‍රවාහනය කිරීමට වැලි ජාවාරම් කරුවන් කටයුතු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කෙළේය.

එසේම එම කටයුතුවලදී රජයට ලැබිය යුතු රාජ්‍ය භාගය ලබාදීමට හෝ මෙම පුද්ගලයින් කටයුතු කර නොමැති බවට ඔහු කරුණු ඉදිරිපත් කෙළේය. එසේම මෙලෙස මහා පරිමාණයෙන් වැලි ලබා ගැනීම සඳහා හාරන ලද වළවල් නැවත පිරවීම සඳහා වගඋත්තරකරුවන් කටයුතු කර නොමැති අතර, ඒ හේතුවෙන් වන වනසතුන්ට විශාල අවදානමකට ලක් වීමට සිදු වී ඇති බවට ද ඔහු කරුණු ඉදිරිපත් කළේය. වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී කියා සිටියේ මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසා බැලිය යුතු බවය.

ඒ සඳහා කල් අවශ්‍ය බැවින් ඊට අවසර ලබා දෙන ලෙස ඔහු අධිකරණ‍ෙයන් ඉල්ලා සිටියේය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බව ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම ලබන වසරේ මාර්තු මස 06 වැනිදා කැඳවීමට තීරණය කෙළේය.

වනජීවි සහ වන සංරක්ෂණ ඇමැතිවරයාව සිටි විමලවීර දිසානායක,, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, මධ්‍යම පරිසර අධිකාරිය, එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, පොලිස්පති ඇතුළු හත්දෙනෙකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.

මෙම පෙත්සම මෙම වසරේ මාර්තු මස 20 වැනිදා කැඳවූ අවස්ථාවේදී මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළේය.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට ශ්‍රේෂ්ඨාධිකරණය එදින තීරණය කළේය. එසේම අලි අගල් කැපීම අත්හිටුවමින් ඊයේ (22) වන තෙක් බලපවත්වන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමටද විනිසුරු මඬුල්ල තීරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT