Sunday, May 11, 2025
Home » ක්‍රිකට් සභා­පති – ලේකම් මන්ත්‍රී හේෂාට පැනවූ වාර­ණය ඉව­තට

ක්‍රිකට් සභා­පති – ලේකම් මන්ත්‍රී හේෂාට පැනවූ වාර­ණය ඉව­තට

by Gayan Abeykoon
September 23, 2023 1:17 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට, ලේකම්වරයාට අපකීර්තියක් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට පැනවූ වාරණය විසුරුවා හැරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (22) නියෝග කෙළේය.

විත්තිකාර හේෂා විතානගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් මහතා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන දිසා විනිසුරුවරයා මෙම නියෝගය ප්‍රකාශයට පත්‍ කෙළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා හා ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවරූ නඩුව විභාගයට ගැනීමෙන් පසුව මෙම වාරණයන් නිකුත් කැර තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කෙරුනු විගණන වාර්තාවක් පදනම් කරගෙන ඉකුත් ජූලි මස 23 වැනිදා හේෂා විතානගේ මන්ත්‍රීවරයා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකින් තමන්ට අපහාසයක් සිදු වූ බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමක් සිදු කරන තුරු එම විගණන වාර්තාව ප්‍රසිද්ධියට පත් නොකරන බවට එකඟත්වයක් තිබියදී මන්ත්‍රීවරයා නීතියට පටහැනි ආකාරයෙන් වාර්තාව ලබාගෙන ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් කෝටි 150ක වන්දියක් එම මන්ත්‍රීවරයාගෙන් අයකර දෙන ලෙස ඉල්ලමින් මෙම නඩුව ගොනුකර ඇත.

නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් 29 වැනි දිනට නියම කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT