රුපියල් මිලියන 20කට අධික මුදලක් තමන් සේවය කළ සමාගමේ චෙක්පත් මඟින් වංචා කළේ යැයි සැක කෙරෙන සමගි ජන බලවේගයේ යාපනය නිරිත ප්‍රාදේශීය සභාවේ අපේක්ෂක හා ඔහුගේ බිරිය ඇතුළු තිදෙනකුට එරෙහි විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22) නියෝග කෙළේය.
මෙම වසරේදී ප්‍රාදේශීය සභා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූයේ යැයි කියන කරුපයියා මෝගන් සුන්දරම්, ඔහුගේ බිරිය නවරත්න රාසා හංසප්‍රියා හා අරුන් ද නාදන් අනෝෂන් යන සැකකරුවන්ට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කෙළේය.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කිරීමට අවශ්‍ය හෙයින් විමර්ශන අවසන් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කෙළේය.
නුගේගොඩ ප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක (බ්ලූ ඕෂන් රෙසිඩන්ට්න් පුද්ගලික සමාගමේ) ප්‍රධාන සැලසුම් ශිල්පී, ඉංජිනේරු හා ගණකාධිකාරිවරයාව සිටි සැකකරුවන් තිදෙනා සමාගමේ මුදල් චෙක්පත් මඟින් වංචා කළේ යැයි එහි හිමිකරු වූ සිවරාජා තමිලන් 2018 කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කැර ඇත.
වසර පහක් තිස්සේ විමර්ශන අවසන් කර නොමැත්තේ කුමක් නිසා දැයි විමසූ මහේස්ත්‍රාත්වරයා කඩිනමින් විමර්ශන අවසන් කර කරුණු ඉදිරිපත් කරන ලෙසට ඊයේ නියෝග කළේය.
රුපියල් ලක්ෂ සියය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කර ඇති සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර ඇති හෙයින් විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දී නොමැත්තේ නම් එය අධිකරණයට භාර දෙන්නැයි ඊයේ නියෝග කළේය.
අගතියට පත් සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ වසර පහක් තිස්සේ සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි පොලිසියට දන්වන ලෙසය.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අජිත් පී. පතිරණ මහතා අධිකරණයට කරුණු දක්වමින් විත්තිකරුවන්ට එරෙහිව නඩු නිමිත්තක් නොමැති බව සඳහන් කෙළේය.
දෙපාර්ශ්වෙය්ම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ජනවාරි 26 වැනිදා පැමිණිල්ල කැඳවන බවත් විමර්ශනවල ප්‍රගතිය එදිනට වාර්තා කරන ලෙසත් දන්වා සිටියේය.