දේශීය ණය ප්‍රශස්තකරණය යටතේ සේවක අරමුදල්වලට කිසිම අහිතකර බලපෑමක් ඇති නොවන බව ප්‍රායෝගිකව තහවුරු වී ඇතැයි වැඩ බලන මුදල් ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. විවිධ පාර්ශ්ව විසින් ඒ සම්බන්ධයෙන් නිර්මාණය කිරීමට උත්සාහ කළ ප්‍රචාර අද වන විට අසත්‍ය බවට ජනතාවට පසක් වී ඇතැයි හෙතෙම කියා සිටියේය.
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් එහි සාමාජිකයන්ගේ දරුවන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් හඳුන්වා දුන් නිපුණතා සවිය මූල්‍ය ශිෂ්‍යත්ව වැඩ සටහනේ සමාරම්භක අවස්ථාවට පසුගියදා (19) එක්වෙමින් වැඩ බලන ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83ක් පමණ වන අතර ඉන් විදේශ ණය ප්‍රමාණය බිලියන 41ක් පමණ වන බව ඒ මහතා පැවසීය. එය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට පියවර ගත් අතර බිලියන 42ක් වූ දේශීය ණය ප්‍රශස්තකරණය ගැන ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වූ බව සියඹලාපිටිය මහතා කියා සිටියේය. ඒ අනුව දේශීය ණය ප්‍රශස්තකරණයට රජය පියවර ගත් අතර ඊට එරෙහි වූවන්ගේ ප්‍රධාන සටන් පාඨය බවට පත් වූයේ සේවක අර්ථසාධක අරමුදල්වලට එමඟින් හානි සිදුවිය හැකි බව ඒ මහතා සඳහන් කළේය. දැනට ලක්ෂ 26ක පමණ පිරිසක් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සාමාජිකත්වය දරන අතර ලක්ෂයක පමණ පිරිසක් එහි ප්‍රතිලාභීන් බවට පත්ව ඇතැයි සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේය. එබැවින් ප්‍රශස්තිකරණය යටතේ මේ අරමුදලට බලපෑම් එල්ල වන බවට වන ප්‍රචාර වඩාත් ඉක්මණින් ජනතාව විශාල පිරිසක් අතට යැවීමේ හැකියාව තිබූ බව හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් අරමුදල වෙනුවෙන් වූ වාර්ෂික පොලී අනුපාතය 2026 වසර දක්වා 9% මට්ටමේ පවත්වාගෙන යෑමට රජය සහතික වී ඇති තත්ත්වයක එම වැරැදි මතවාද පරාජයට පත්ව ඇති බව ඒ මහතා කියා සිටියේය. උපාධිධාරීන්ට පවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගන්නා තත්ත්වයක් මතුව ඇත්තේ තෝරා ගන්නා පාඨමාලා පිළිබඳ ගැටලුව හේතුවෙන් බව වැඩ බලන ඇමැතිවරයා කියා සිටියේය. උපාධිධාරීන් පවා එවැනි තත්ත්වයන්ට මුහුණ දී ඇති පසුබිමක විශ්වවිද්‍යාල සුදුසුකම් නොලබා ඉතිරි වන දරුවන්ගේ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් දෙන මේ ශිෂ්‍යත්වය කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමක් බව සියඹලාපිටිය මහතා සඳහන් කළේය. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති රෝහණ අබේරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය – සුදත් නිශාන්ත